ස්වාභාවික විපත් බිලි පූජාව නතර වෙන්නේ කවදාද?
වලපනේ මුංවත්ත මල්ලපට්ටාව ප්‍රදේශයේ සිදු වූ නායයෑමකින් එකම පවුලේ සිව් දෙනකු මිය ගිය පුවත අප වාර්තා කළේ පසුගිය සඳුදා (02 වැනිදා) ය. සිල් මාතාවක සහ කුඩා දැරියක වනඅලි ප්‍රහාර හේතු කොටගෙන මියගොස් ඇතැයි යන පුවතද එදිනම වාර්තා කර තිබිණ. මේ සිද්ධීන් දෙකම බැලූ බැල්මට ස්වාභාවික ආපදා නිසා සිදු වූ මරණ ලෙස කිව හැකි නමුත් අපගේ අදහස නම් මේ සිද්ධීන් දෙකම මිනීමැරුම් අවස්ථා ලෙසය. මේ මිනීමැරුම්වලට වගකිවයුත්තේ අපය.
අධික වර්ෂාවක් ඇතිවන සෑම අවස්ථාවකම නායයෑම්ද, ඒ නිසා සිදුවන මරණද සාමාන්‍ය පුවතක් බවට පත්ව තිබේ. මේ මරණ ඉබේ සිදුවන ඒවා නොව ඝාතන ලෙස අප දකින්නේ මේ නාය යෑම් අප විසින් නිර්මාණය කරවා ගන්නා ඒවා නිසාය.
නාය යා හැකි යැයි හඳුනාගත් ප්‍රදේශ රැසක් උඩරට කඳුකරයේ තිබේ. මේ නායයෑමේ අවදානම ඇති වන්නේ නිකම්ම නොව, ඒ ප්‍රදේශවල වනාන්තර එළිපෙහෙළි කිරීම, කඳු කපා දැමීම, ආදී මානව ක්‍රියාකාරකම් නිසාය. මේවායින් ඇතැම් ක්‍රියාවන් සිදුවන්නේ සංවර්ධනයේ නාමයෙනි. ඇතැම් ක්‍රියාවන් සිදුවන්නේ දුප්පත්කම නිසාය.
හේතුව කුමක් වුවත් අවසානයේ සිදුවන්නේ වසරකට වරක්, දෙකක් මිනිස් ජීවිත කිහිපයක් බිලිගැනීමය. මේ බිලි පූජාවේ අවසානය කොතැනද? වනඅලි ප්‍රහාර නිසා සිදුවන ජීවිත හානිද මෙයාකාරය. සෑම වසරකම සැලකිය යුතු පිරිසක් වනඅලි ප්රහාරයන්ගෙන් මිය යති. එවැනි මරණයක් සිදු වූ වහාම ඒ ගැන කතා කරන අපි, තවත් වනඅලි ප්‍රහාරයක් සිදුවන තෙක් ඒ ගැන අමතක කර දමමු. වනඅලි ප්‍රහාර නිසා ජීවිත හානි සිදුවන්නේද සංවර්ධනයේ නාමයෙන් සහ දුප්පත්කම හේතුකොටගෙනය. සංවර්ධනයේ නාමයෙන් වනාන්තර එළිපෙහෙළි වන විට වනඅලින්ට උන්ගේ නිවහන අහිමි වේ. හරිහැටි ඉන්නට හිටින්නට තැනක් නැති ජනතාව වන අලින් ගැවසෙන මායිමේ ඇතැම් විටෙක උන්ට අයත් භූමියේ පදිංචි වීම, අලි – මිනිස් ගැටුමට හේතු වේ.
නායයෑම නිසා මිනිස් ජීවිත හානි වීමත්, වනඅලින් නිසා ජීවිත හානි වීමත් ගැන බොහෝ දෙනාගේ අදහස වී ඇත්තේ ඒවා විසඳන්නට අපහසු නැතිනම් විසඳුමක් නොමැති ප්‍රශ්න ලෙසය. නමුත් අපගේ අදහස වන්නේ සැබෑ අවශ්‍යතාවක් ඇත්නම් මේ ප්‍රශ්න දෙකටම විසඳුම් තිබෙන බවය. අවම වශයෙන් නාය යෑම නවතා ගත හැකි නොවුණත් ඒ නිසා සිදුවන ජීවිත හානි සිදුවීම හෝ වළක්වා ගත හැකිවනු ඇත. එසේම අලි – මිනිස් ගැටුම් නිසා මිනිස් මරණ සේම අලි මරණද වළක්වාගත හැකිවනු ඇත.
මේ ප්‍රශ්න දෙකම විසඳා ගැනීමට ඇති පහසුම ක්‍රමය නම් වනාන්තර එළිපෙහෙළි කිරීමෙන් වැළකී සිටීමය. එහෙත් සියයට සියයක්ම එසේ කළ නොහැකි වන්නේ මිනිසාගේ පොදු අවශ්‍යතා සඳහා කෙරෙන සංවර්ධන කටයුතුවලදී යම් පමණකට කැලෑ එළි කිරීමට සිදුවන බැවිනි. නමුත් මේ සංවර්ධනය ගොං තකතීරු සංවර්ධනයක් නොවී ධරණීය සංවර්ධනයක් සිදුවන්නේ නම් වනයත් රැකී, අපටද දියුණු වන්නට මග පෑදෙනු ඇත. අද අප පරිසරයෙන්ද, වන අලි වැනි තිරිසනුන්ගෙන්ද බැට කමින් සිටින්නේ අපේ අතීත සංවර්ධන ව්‍යාපෘති එලෙස සැලසුම් නොවූ නිසාය.
ගිය නුවණ ඇතුන් ලවාවත් ඇදගන්නට බැරි යැයි කියමනක් තිබේ. ඒ නිසා අතීතයේ කළ ගොන්කම් දැන් වෙනස් කළ නොහැකිය. මේ නිසා දැන් අපගේ අවධානය යොමුවිය යුත්තේ අතීතයේ අපගේ වැරදි තීන්දු තීරණ නිසා අද අපි විඳින විපාකයන්ගේ හානිය අවම කරගත යුත්තේ කෙසේද කියාය.
අපගේ අදහස නම් ඒ සඳහා නීතිය ක්‍රියාත්මක කළ යුතු බවය. උඩරට කඳුකරයේ නායයෑම් සිදුවන්නේ අහම්බයෙන් නොව, කලින් හඳුනාගෙන තිබෙන ස්ථානවලය. එවන් තැන් කලින් හඳුනා ගන්නටද හැකියාවක් තිබේ නම් ඒ නායයෑම් නිසා මිනිස් ජීවිත හා දේපොළ හානි සිදුවන්නේ කෙසේද? එක්කෝ එකී අවදානම ඒ ජනතාවට නොදන්වා තිබිය යුතුය. නැතිනම් දන්වා තිබුණත් පදිංචිකරුවන් ඉවත් නොවී සිටිය යුතුය. සිදුවන්නේ දෙවැනි කාරණයයි. සාමාන්‍යයෙන් අප පුරුදුව සිටින්නේ අල්ලපු වත්ත නාය ගිහින් තමන්ගේ වත්ත නාය නොයනු ඇතැයි සිතමින් තමන්ට පුරුදු ස්ථානයේම රැඳී සිටින්නටය. එහෙත් නාය යා හැකි බවට හඳුනාගත් ස්ථානවල පදිංචිකරුවන් ඔවුන්ගේ කැමැත්ත නොමැතිව හෝ ඉවත් කිරීම බලධාරින්ගේ වගකීමකි. ඒ සඳහා ඔවුන්ට නෛතික ප්‍රතිපාදන තිබේ. එහෙත් ඒ නීතිය ක්‍රියාත්මක නොකිරීම නිසා එක් ජීවිතයක් හෝ අහිමි වුවහොත් එහි වගකීම පැවරෙන්නේද, ඇනුම් බැණුම් අසන්නට සිදුවන්නේ ද බලධාරින්ටමය.
වනඅලි ගැවසෙන තැන් ආශ්‍රිතව වෙසෙන ජනතාවද මේ අන්දමින්ම ඉවත් කිරීමට අවකාශයක් තිබේ. කළ යුත්තේ අවදානම් කලාපවලින් ඉවත් කරන ජනතාවට අවම අපහසුතාවන් ඇතිවන පරිදි සුදුසු ස්ථානවල ස්ථානගත කිරීමය.
මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ විශේෂ සොයා බැලීමක්ද, ප්‍රතිපාදන ද අවශ්‍ය වන්නේ මේ අවස්ථාවේදීය. මෙවැනි ව්‍යාපෘතියක් සාර්ථකවනු ඇත්තේ එය හුදෙක් යාන්ත්‍රික මෙහෙයුමක් නොවී ‘මානුෂික’ මෙහෙයුමක් බවට පත්වුවහොත් පමණකි. මෙවැනි මෙහෙයුමක් සඳහා ආණ්ඩුවේ විශේෂ මැදිහත්වීමක් අවශ්‍ය වන්නේ මෙවැන්නක් රාජ්‍ය වැය බර වැඩි කරන කටයුත්තක් වන බැවිනි.
එහෙත් ඒ බර, බරක් ලෙස නොව වගකීමක් ලෙස සලකා කටයුතු නොකළහොත් අප සැමටම තවදුරටත් නායයෑම්, ගංවතුර හා වන අලි ප්‍රහාර නිසා සිදුවන මරණවල බර දරන්නට සිදුවනු ඇත.