News

හදිසි බස් රථ රියදුරෙක් හේතුවෙන් ජිවිත රැසක් අවධානමේ

වවුනියාව මන්නාරම ප්‍රධාන මාර්ගයේ වවුනියාව දකුණ ප්‍රාදේශීය ලේකම් කාර්යාල අසළ දුම්රිය හරස් මාර්ගය වසා තිබියදී බස් රථ රියදුරෙක් දුම්රිය‍ ගේට්ටුව කඩාගෙන බස් රථය දැමීමට උත්සහ කිරීමේ සිද්ධියක් ඊයේ (06) වවුනියාව ප්‍රදේශයෙන් වාර්තාවිණ.

අදාළ අවස්ථාවේදී බස් රථයේ මගීන් 50 දෙනෙකු පමණ සිට ඇති අතර, අනතුරුව දුම්රිය හරස් මාර්ග මුරකරු සිදුකළ දැනුම්දීමක් මත බස් රථය පසුපසට ගත් බැවින් බස් රථය දුම්රියේ නොගැටි බේරී ඇති බව ප්‍රදේශවාසීන් පැවසීය.

අධික වේගයෙන් පැමිණි බස් රථ රියදුරු දුම්රිය හරස් මාර්ගය හරහා හදිසියේ දැමීමට යාම හේතුවෙන් දුම්රිය ගේට්ටුවේ හරස් ආවරණය කැඩී ගොස් ඇති බවද ප්‍රදේශවාසීන් පවසති.

කොළඹ සිට යාපනය බලා ධාවනය වු ශිඝ්‍රගාමි දුම්රිය ගමන් කරන අවස්ථාවේ මන්නාරම සිට වවුනියාව බලා ධාවනය වු බස් රථයක් එලෙස දුම්රිය හරස් මාර්ගය හරහා දැමීමට ‍ගොස් තිබිණ.

දුම්රිය රියදුරුගේ දැඩි සැළකිල්ලද අනතුර වළක්වා ගැනීමට හේතුවි ඇති බවද ප්‍රදේශවාසීන් පැවසූහ.

බස් රථය දුම්රිය හරස් මාර්ගය හරහා දැමීම හේතුවෙන් දුම්රිය ගේට්ටුව කැඩී ඇති අතර, වවුනියාව පොලිසිය පැවසූවේ අදාළ බස් රථ රියදුරු අත්අඩංගුවට ගත් බවයි.

බස් මගීන් පැවසූවේ බස් රථ රියදුරු දැඩි අපරීක්ෂාකාරි අයුරින් බස් රථය දුම්රිය හරස් මාරගය හරහා දැමීමට කටයුතු කළ අතර, වාසනාව හේතුවෙන් තම ජිවිත බේරූණ බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

වවුනියාව – මාධව කුලසූරිය