හරියට වැඩ කරන්න බැරි ජනාධිපති එක්ක ‘ඩීල්’ දාන අපේ අය නිසා – ලක්ෂ්මන් කිරිඇල්ල
ජනතාව පත් කළ ආණ්ඩුව හා අගමැතිකම රාජපක්ෂ කඳවුරට ලබාදීමට ජනපති ක්‍රියා කළ විට ඊට එරෙහිව දැඩිව සටන් කළ එජාපය යළිත් පරණ අලසකමට හුරුවෙලා වගේ?
ඔය කතාව චෝදනාවක් ලෙස අපට ජනතාවගෙ පැත්තෙනුත් එනවා. ඒත් ඔක්තෝබර් 26ට පෙර තිබූ ප්‍රකෘති තත්ත්වයට රටට හා ආණ්ඩුවට යළිත් එන්න විවිධ බලවේග ඉඩ දෙන්නේ නැති නරුමත්වයක් තියෙනවා. වෙනදාටත් වඩා ආණ්ඩුවේ කකුලෙන් ඇදලා රටට ජතතාවට වැඩක් කරන්න නොදෙන තත්ත්වයක් තියෙනවා. යහපාලනය පටන් ගත්ත දවසෙ ඉඳලම ආණ්ඩුව ඇතුළෙ ඉඳගෙන කකුලෙන් ඇද්දා. ඔක්තෝබර් කුමන්ත්‍රණය පාර්ලිමේන්තුව තුළත් මහ පාරෙත් අධිකරණයේදීත් පරාද කරන්න අපි ක්‍රියා කළ නිසා එය ඉවසාගත නොහැකි පිරිස් දැන් වෙනදාටත් වඩා කකුලෙන් අදිනවා.
කවුද කකුලෙන් අදින්නෙ කියලා එළිපිට නම් කරන්න පුළුවන්ද?
මම නම් කරන්න ඕන නෑ. කකුල් මාට්ටු දාන්නෙ කවුද කියල මුළු රටම දන්නවා. එකක් පැහැදිලියි. ඉතිහාසයේ කිසිම දවසක ගෝල්ෆේස් එක පිරෙන්න සෙනඟ ගෙනාවේ නැති අපට මේ පාර ඒකත් කරන්න පුළුවන් වුණා. ඒ තුළ ජනතාව දැන් ඉන්නේ අපි එක්කයි. ඕනෑම මැතිවරණයක ජය පරාජය තීන්දු කරන්නෙ මේ රටේ බුද්ධිමත් පාවෙන ඡන්දදායකයායි. ඔවුන් සියලු දෙනාම දැන් අප සමගයි. ජනතාවට රටට වාසි මොන යෝජනාව ගෙනාවත් කැබිනට් එක තුළ අකුල් හෙළනවා. මෙහෙම පිළිකුල් පසුබිමක් ලෝක ඉතිහාසයේම නැහැ.
2001 චන්ද්‍රිකා කැබිනට් මණ්ඩලය තුළ තනි වූ වෙලාවේ ඇයට එරෙහිව දැවැන්ත අරගලයක් එජාප ඇමැතිවරු දියත් කළත් ඒ අදීන බව අද නැතිවීමට හේතු මොනවාද?
එජාපෙ විනයගරුකව හැසිරෙන රාජ්‍ය තාන්ත්‍රිකව හැසිරෙන කණ්ඩායමක්. ඔබ කිව්ව වගේ ජනාධිපතිතුමා දැන් කැබිනට් එක තුළ තනිවී ඉන්න නිසා අපේ ඇමැතිවරුන්ට එතුමා අපහසුතාවට පත් කිරීමට ක්‍රියා කිරීම් ඕනෑතරම් ඉඩකඩ තියෙනවා. ඒත් අපි එහෙම කරන්නෙ නැත්තෙ අපිට විනයක් තිබෙන හා නායකතුමා ඊට කිසිසේත්ම ඉඩ නොදෙන නිසයි.
ව්‍යවස්ථානුකූල පොඩි අවුලක් දැන් තියෙන්නෙ. අපේ න්‍යාය පත්‍රයට එකඟව 2015 දී අපි එක්ක එකතු වෙලා දිනපු ජනපති මාසයකින් පස්සෙ ශ්රීලනිපය බදාගත්තා. රටත් ජනතාවත් ආණ්ඩුවත් අවුල් වීමට ප්‍රධාන හේතුව එයයි. එතුමා ශ්රීලනිපය බදාගත්තට අපට ප්‍රශ්නයක් නෑ. ඒත් ආණ්ඩුවේ නායකයා ලෙස ආණ්ඩුවේ වැඩ අවුල් වෙන පසුබිමක් දැන හෝ නොදැන ඇතිවීම ඉතා අසාධාරණයි. ඊට අමතරව පළාත් පාලන මැතිවරණ කාලෙ ආණ්ඩුවේ ඉඳගෙන ආණ්ඩුව විවේචනය කරන්න ශ්‍රීලනිප අවස්ථාවාදී පිරිස් ක්‍රියා කළ නිසා එජාපෙ විතරක් නෙවෙයි ජනතාව ශ්‍රීලනිපයත් පැරැද්දුවා. පොහොට්ටුව එදා දිනුවා නෙවෙයි අපේම ආණ්ඩුවේ කට්ටියක් එයාල දිනවල දුන්නා. ජනාධිපතිත් අඩු වැඩි ලෙස ඊට දායක වුණා. ඒක සිදු නොවිය යුතු කනගාටුදායක තත්ත්වයක්. ජනවරමට එරෙහිවයි ඒ හැසිරීම් සිදුවුණේ.
ජනවරමට පටහැනිව ජනපති හා ශ්රීලනිපය පළාත් පාලන ඡන්දයේදී කළ දේ මොකක්ද? මේ ආණ්ඩුව රටට වැඩ කළා නම් පරදිනවද?
මේ ආණ්ඩුව තරම් රටට වැඩ කළ පිරිසක් තවත් නෑ. අපේ වැඩ විතරයි. සද්දෙ නෑ. රාජපක්ෂලගෙ වැඩ ටිකයි. සද්දෙ ලොකුයි. එදා එයාල රුපියල් 100ක වැඩක් කරලා ලක්ෂ 10ක පෝස්ටර්, බැනර්, කටවුට් රට පුරා ගැහුවා. අද එහෙම නෑ. අද බොහෝ ජනමාධ්‍ය ආණ්ඩුවට පහර දෙන්න කුඩා දේත් ලොකු කරල මවල දෙනව මිසක් අපි රටට කළ සේවය හා සංවර්ධනය මෙන්ම ජනතාවට දීපු සහන පොඩ්ඩක්වත් මතු කරන්නේ නෑ. රුපියල වැටෙනව කියල උදේ හවස මොරදුන් ජනමාධ්‍ය අද රුපියල ශක්තිමත් වන විට ඒ ගැන වචනයක් කතා කරනවද?
අපි රුපියල් 10000ක පඩි, සමෘද්ධි මහපොළ, දුගී දීමනා දෙතුන් ගුණයකින් වැඩි කළා. ගැබිනි මවුන්ට පෝෂණ මලු, පාසල් සිසුන්ට රක්ෂණය දීලා බෙහෙත් 78ක මිල අඩු කළා. ඉන්ධන හා ගෑස් තාම 2015ට වඩා මිල අඩුයි. ජනමාධ්‍යයට තියා ඒ ප්රතිලාභ ලබන ජනතාවටත් මේව දැන් මතක නෑ.
ඒත් සජිත් ප්‍රේමදාස සංවර්ධනයට වඩා ප්රචාරයට විශාල වියදමක් දරන බවට චෝදනා එල්ල වෙනවා නේද?
සජිත්ට මඩ ගැසීම දේශපාලන න්‍යාය පත්‍රයක කොටසක්. සමහරු සජිත් භීතිකාවකින් පෙළෙන නිසා මඩ ගහල වට්ටන්න හදනවා. ඒ බොළඳ උත්සාහය ගැන ජනතාවට හිනා.
2015 ජනවරමට එරෙහිව ජනපති හා ශ්‍රීලනිප කළේ මොකක්ද කියලත් මම ඇහුවා?
2015 රාජපක්ෂ නඩය ජනතාව පරාද කළේ දූෂණය භීෂණය මිනීමැරුම් පවුල්වාදය රටේ ඉඩම් සින්නක්කරව විකිණීම ආදිය නිසයි. ඔවුන් පරාද කරල ජනතාව ජනපති කළ කෙනාම අර පරණ හොරු නඩයට අගමැතිකම් හා ආණ්ඩු බලය ලබාදීම තරම් ජනවරමට පටහැනිව ක්‍රියා කරපු නිර්ලජ්ජිත අවස්ථාවක් දේශපාලන ඉතිහාසයේම නෑ. ජනාධිපතිතුමා ජනවරම විතරක් නෙවෙයි ව්‍යවස්ථාවත් කැඩූ බව ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කළා. එතුමා වැරදි නිවැරදි කරගන්නවා වෙනුවට යළි යළිත් ආණ්ඩුව එක්ක ගැටෙමින් ආණ්ඩුවේ න්‍යාය පත්‍රයට පහර දෙමින් තම න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන්න යාම රටට ජනතාවට කරන මහා වැරදි වැඩක්. මොකද එතකොට රටයි අවුල් වෙන්නේ. රටක නායකයකුට එහෙම කරන්න අයිතියක් නෑ.
ජනපතිගේමේ ඒක පාර්ශ්වික ක්‍රියාකාරකම් වැරදි නම් ඊට එරෙහිව ආණ්ඩුව නැගී නොසිටින්නෙ ඇයි? ඊට හේතුව බොහෝ ඇමැතිවරුන්ට ඔහු හා ඩීල් තිබීම ද?
පැහැදිලිවම ඔව්. ආණ්ඩුවේ සියලු දෙනා ජනපති ගැන එක තනි ස්ථාවරයකට එනවා නම් මේ අසාධාරණකම්වලට එරෙහිව නැගී සිටීම පහසුවෙන් කළ හැකියි. ඒත් සමහරුන්ට ‘ඩීල්’ තිබෙන බව පේනවා. දින 52 කුමන්ත්රණයටත් මේ ‘ඩීල්කාරයො’ හවුල්.
දින 52 කුමන්ත්‍රණය පිටුපස එජාප මැති ඇමැතිවරුන් හිටිය කියලද ඔබ කියන්නෙ?
නෑ. දැන් ඒ අතීතයෙන් වැඩක් නෑ.
ඒත් ඒ පසුබිම රටේ ජනතාව දැන ගැනීම අවශ්‍යයි. ඔබට ඒ ගැන වගකීමක් තිබෙනවා?
අපේ සමහරු පොරොන්දු වෙලා තියෙනවා එයාල එජාප මන්ත්‍රීවරු 10ක් එක්ක එනවා කියල. තවත් අය 07ක් එක්ක එනවා කිව්වලු. බය නැතුව පාර්ලිමේන්තුව විසුරුවන්න කියල මේ අය ජනාධිපතිතුමාට කියල තියෙනවා. අන්තිමට ඒ සමහරු ගියා. තවත් සමහරු ගියෙත් නෑ. මොවුන් එතුමාට ලණු දුන්නද කුමන්ත්‍රණය අසාර්ථක වෙලා බව දැනගෙන ‘රිවස්’ ගියාද මම දන්නේ නෑ. අපේ අය ඩීල්වලින් වළකින්නෙ නැතිතාක් අපට අමාරු වෙනවා. මම නම් ජනාධිපතිතුමාට හා මහින්දට කියන දේ මූණටම ඒ කාලෙ කිව්වා. ඒත් ආණ්ඩුව රැකීම වෙනුවෙන් අපි කියන බොහෝ දේවල් පිට කරන ‘ඩීල්කාරයො’ තාම ඉන්නවා. කුමන්ත්‍රණ කාලෙ අපේ 7-8 ක් මට පෞද්ගලිකව කිව්වා අපි ‘රනිල් අතහැරලා’ ජනාධිපති දෙන අගමැතිත් එක්ක යමු කියලා. එහෙම ‘තුට්ටු දෙකේ’ වැඩ කරන්න බැහැ කියලා මම එයාලට කිව්වා අර අමාත්‍යාංශය දෙන්න අර ආයතනය මට දෙන්න කියල ජනාධිපතිත් එක්ක ඩීල් දාන අය නිවැරදි විය යුතුයි. මොකද එතුමා ආණ්ඩුව අවුල් කරන න්‍යාය පත්‍රයක ඉන්න බව මේ අය තේරුම් ගන්න ඕන.
ජනපති දිගින් දිගටම ආණ්ඩුව අවුල් කරන්න ආවොත් ඔහුගේ වැය ශීර්ෂය කැපීමේ අදහසක් ආණ්ඩුව තුළ තිබෙනවා නේද?
යළිත් ආණ්ඩුව ගත්ත දවසෙ ඉඳල සමහරු තුළ එහෙම මතයක් තියෙනවා. ඒත් අගමැතිතුමා වගේම මා ඇතුළු පිරිසක් ඊට එකඟත්වය පළ කරන්නේ නෑ. ඒත් දිගින් දිගටම එතුමා ආණ්ඩුවට අවහිර කළොත් මේ මතය තවත් ශක්තිමත් වෙන්න බැරි නෑ. ජනාධිපතිතුමාට ආරක්ෂාවට ඉන්නේ අපි විතරයි. රාජපක්ෂවරු බැලුවේ ජනාධිපතිගෙ බලතල පාවිච්චි කරල ඔවුන්ට රටේ බලය ඩැහැගන්න විතරයි. ජනාධිපති අච්චර වැරදි වැඩක් කරල ආණ්ඩුව හා අගමැතිකම දීලත් පසුදාම පොහොට්ටුවට ගියා. පොහොට්ටුවේ අය එතුමාට ජනපති අපේක්ෂකත්වය දෙන්නත් දැන් සූදානම් නෑ. ජනාධිපති එක්ක ඉන්න ශ්‍රීලනිප මන්ත්‍රීවරු 18ත් එතුමාගේ වත්මන් ක්‍රියාකාරීත්වය තුළ දැඩි කලකිරීමක ඉන්න බව ආරංචියි. ඒ නිසා මේ සියලු තත්ත්වයන් එතුමා තේරුම් ගෙන ක්‍රියා කිරීම වටිනවා. මොකද කාගෙ කාගේත් ‘රතු කට්ට’ පැනීම රටේ දේශපාලන සෞඛ්‍යයට හොඳ නෑ. ජනාධිපතිතුමා අපි පත් කරගත් අපේ ජනාධිපතිතුමයි. එතුමා අපහසුතාවට පත් කරන්න අපි ක්‍රියා කරන්නෙ නෑ. ඒ වගේම තමා විහින් ගිනි ගොඩකට නොපැනීමත් එතුමාගෙ වගකීමක්. දිගටම මෙහෙම ගියොත් එතුමාට කවුරුත් නැති වෙනවා. ඒ තත්ත්වයට එතුමා පත්වෙනවාට එජාපෙ කිසිසේත්ම කැමැති නෑ. මම ඉතා අවංකවම මේව කියන්නෙ.
ඔබ පාර්ලිමේන්තුව තුළත් දින 52 අරගලය තුළත් ක්‍රියාකළ ආකාරය නිසා ඔබට ආයතන නැති බෝඩ් ලෑලි ඇමැතිකමක් ලැබුණු බව සත්‍යයක්ද?
ජනාධිපතිතුමා පළමු කැබිනට් එකේදීම කිව්වෙ මම නම් ලක්ෂ්මන්ගෙන් පළිගත්තෙ නෑ. ඒක නිලධාරීන්ගේ වැරැද්දක් නිසා ඉක්මනින් නිවැරදි කරනවා කියලයි. හැබැයි තාම නිවැරදිවීමක් නම් වෙලා නෑ.
ඒත් ඒ වැරද්ද සිදු කළේ ජනාධිපතිගෙ නිලධාරීන් නොව අගමැතිගෙ නිලධාරීන් බවටත් ආරංචි පැතිරෙනවා නේද?
ඒක අපැහැදිලියි. ඒත් අගමැතිතුමාගෙ නිලධාරීන් මේ වැරැද්ද කළ බව මටත් පස්සෙ ආරංචි වුණා. එයාල ඒක පස්සෙ නිවැරදි කළා. එතකොට කෝච්චිය ගිහින් ඉවරයි.
සභානායකට අසාධාරණ කරන නිලධාරීන් අගමැති ළඟ ඉන්නවද?
නෑ නෑ මට නායකතුමා හෝ පක්ෂය එක්ක කිසිම ප්‍රශ්නයක් නෑ. ඔබ හදන්නෙ ප්‍රශ්න ඇති කරන්නයි. මමගිය වසර 04ට උඩරට පළාතෙම පාරවල් 600ක් විතර හැදුවා. ඉන් 350ක් විහාරස්ථානවලට යන ඒවා. රට පුරා පාරවල් 1500කට වඩා හදල තියෙනවා. මට දැන් දේශපාලනය කරන්න හොඳ විවේකයක් තියෙනවා. ඕනම ආණ්ඩුවක අන්තිම වසරේ දේශපාලනය මිසක වෙන වැඩවලට එච්චර ප්රමුඛත්වයක් ලැබෙන්නෙත් නෑ.
දළදාව වඳින්න යන්න ඉදිකරන බව කියපු මහනුවර අධිවේගය කෝ. කතාවෙ තරමට වැඩ නැහැ නේද?
නෑ. කතාවටත් වඩා වේගයෙන් අපි ඒ පාර හදනවා. ගාල්ල අධිවේගයට වසර 10ක් ගියා. මේ පාර අපි වසර 05න් සම්පූර්ණ කරනවාමයි. මේ අධිවේගයේ අදියර තුනයි. කඩවත මීරිගම කොටස චීන අය කරන්නෙ. ඒක ටිකක් ප්‍රමාද වුණත් 2020දී විවෘත කළ හැකියි. මීරිගම කුරුණෑගල අදියරේ වැඩ දැන් 80% ඉවරයි. තව මාස කීපයකින් ඒක විවෘත කරනවා. මම ඒක දේශීය කොන්ත්රාත්කාරයින්ටයි දුන්නේ. එයාලට මේ අත්දැකීම් තුළ ජාත්‍යන්තරයේත් මීට පසු අධිවේග කොන්ත්‍රාත් ගන්න ලැබීම රටට විශාල වාසියක්. ඒ අදියර මේ වසරේ විවෘත කළාම නුවරට යන්න වේගවත් පාරක් ඇතිවෙනවා. එනම් පස්යාලෙන් මීරිගමට ඇවිත් කුරුණෑගල හරහා නුවරට යන්න අලුත් පාරක් බිහිවෙනවා. වෙනදට වඩා පැය 1 1/2 ජනතාවට ඉතිරි වෙනවා. අනික ගලගෙදර ඉඳල නුවරට තියෙන පාර ලේන් හතර කරල දියුණු කරන එකත් අපි වැඩ ළඟදීම පටන් ගන්නවා. මේ පාරවල් දළදාව වඳින්න යන නිසා මහා පින්කමක් වෙනවා.
පින්කම් අස්සෙ මහා හොරකමුත් සිදු වෙන එක ගැටලුකාරී නැද්ද? කුරුණෑගල පොතුහැර සිට ගලගෙදර දක්වා අදියරේදී රුපියල් බිලියන 32ක් එහා මෙහා වූ බවත් ඊට අදාළ චෝදනාව ඔබට එල්ල වීම ගැනත් මොකද කියන්නෙ?
ඕක අලි මඩක්නේ. පොතුහැර ගලගෙදර කොටසේ කොන්ත්‍රාත් එක තාම කාටවත් දීලත් නෑ.කොන්ත්‍රාත් එක අත්සන් කරන්නේත් නැතුව බිලියන 32ක් එහා මෙහා වෙලා කියල මඩ ගහල හරියන්නෙ නෑ. ජපානයේ ආණ්ඩුවට මේ අදියර දෙන්න අගමැතිතුමා හා අපි තීන්දු කරල රුපියල් බිලියන 25ක් රටට ඉතිරි කරගත්තා. ඇත්ත ඒකයි. මාධ්‍යවල මඩ ප්‍රචාර ගිය නිසා කොන්ත්රාත්කාරයො ටිකක් බයවෙලා අපට ඉටු කළ නොහැකි කොන්දේසි දාන්න එනවා. ඒවට යටවෙලා බෑ. වෙන කෙනකුට දෙමු කියලයි මම අගමැතිතුමාට කිව්වේ.
අනික මම මල්, පහන් පූජා කරන්න දළදා මාලිගාවට ගියාම මල්වතු අස්ගිරි මහ නාහිමිවරු අහනවා ‘‘කෝ මහත්තයෝ නුවර අධිවේගය කියලා’. ඉතින් මම මේ සඳුදා මහනාහිමිවරු දෙපළ එක්ක ගිහින් මීරිගම කුරුණෑගල අපි ළඟදි විවෘත කරන අදියර පෙන්නලා ආශිර්වාද ලබාගන්නත් කටයුතු කරනවා. මහනුවර, අධිවේගය මගේ හීනයක්. මේක ඉවර කළාම මට නිදහසේ මැරෙන්න පුළුවන්. මොකද මේ පාර කන්ද උඩරට ජනතාවට ආණ්ඩුවක් ලබාදුන් උතුම්ම තෑග්ග වෙන බව නියතයි.
ජාතික ආණ්ඩුවක් යළි තැනීමට ඔබ ඉදිරිපත් කළ යෝජනාවේ අරමුණ මොකක්ද? ඇමැතිකම් වැඩිකර රටට බරක්වීමද? මෙය සදාචාරාත්මකදැයි ජනපති එස්.බී. හා පොහොට්ටුව ප්‍රශ්න කරනවා නේද?
ජාතික ආණ්ඩුවක් හදන කොට හා ඇමැතිවරු 30ට වඩා වැඩි කරන්න පාර්ලිමේන්තු අවසරයක් ගතයුතු බව ව්‍යවස්ථාවට ඇතුළු කළේ අපියි. එදා මහින්ද රාජපක්ෂ තනි මතයට කැබිනට් ඇමැතිවරු 64ක් හා රාජ්‍ය ඇමැතිරු 80ක් පත් කළා. අද කෑගහන අය ඒවා දරපු අයයි. ආණ්ඩුවේ කාර්යක්ෂමතාව වැඩි කිරීමක් ආණ්ඩුවට එකතුවීමට සිටින අයට තනතුරුදීලා රටට සේවය ලබාගැනීමේ මේ යෝජනාවේ අරමුණයි.
එක මන්ත්‍රීද මන්ත්‍රීලා 25ද කියල ව්‍යවස්ථාවේ නෑ. ප්‍රධාන පක්ෂය හා තවත් පක්ෂ එකතු වුණාම ජාතික ආණ්ඩුවක් හැදෙනවා. මේක සදාචාරාත්මකද අහන අයගෙන් මම අහන්නේ ජනතාව පත් කළ ව්‍යවස්ථාවට අනුකූල අපේ ආණ්ඩුව ඔක්තෝබර්වල මහදවල් කොල්ල කාපු එක සදාචාරාත්මකද කියලයි. එයාල ව්‍යවස්ථාව කඩල වැඩ කළාට අපි ව්‍යවස්ථානුකූලවයි සියල්ල කරන්නෙ. පාර්ලිමේන්තුවේදී සම්මත කරලා ව්‍යවස්ථානුකූලව කරන කිසිම දේකට විරුද්ධ වෙන්න කාටවත් බෑ.
ඒත් පසුගිය බ්‍රහස්පතින්දා අදාළ යෝජනාව ඉදිරිපත් කර ඡන්දයකින් සම්මත කරගන්නට කඩිමුඩියේ උත්සාහ කළත් එය අකුලා ගත්තේ 113 නැති නිසා නේද?
113 ප්‍රශ්නයක් අපට නෑ. අනික මෙවැනි යෝජනාවක් සම්මත කරන්න ඒ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ ඉන්න සංඛ්‍යාවෙන් බහුතරය තිබුණම ඇති. ස්ථාවර නියෝග අත්හිටුවන්නේ නැතිව දින 05ක් කල්දීලා ඉක්මනින්ම සාමාන්‍ය ක්‍රමයට අපි මේ යෝජනාව සම්මත කරනවා
මේ යෝජනාව පක්ෂව ඡන්දය දීමට සිටි ශ්‍රීලනිප අය ‘රිවස්’ යාමත් යෝජනාව කල්යාමට හේතුවක් නේද?
කිසිසේත්ම නැහැ. ඉස්සරහට වෙන්නෙ මොකක්ද බලන්නකො.
ඩුබායිහිදී පාතාල හා කුඩු මුදලාලිලා කොටු කර ගැනීමේදී ජනපති හා ආණ්ඩුව අතර ලකුණු දා ගැනීමේ තරගය ගැන මොකද කියන්නෙ?
එහෙම තරගයක් අපේ හිත්වලනම් නෑ. 2017 ඉඳලයි මේ මෙහෙයුමට දැල එළලා ආණ්ඩුව මොනිටර් කළේ. අල්ලගෙන ලංකාවට කුදලගෙන ගේන්නයි හිටියේ. ඒත් අලලපු වෙලාවේ ඒ ප්‍රවෘත්තිය ‘ලීක්’ වුණු නිසා වැඩේ ටිකක් අවුල් වුණා.
ප්‍රවෘත්තිය ලීක් කළේ කවුද?
පොලිසිය කියන්නෙ එයාල ලීක් කළේ නැති බවයි. ඒක කළේ කවුද කියල අපිත් හොයනවා. පාතාලය වගේම කුඩු ඇල්ලීමත් 2017 ඉඳල අපියි පටන් ගත්තෙ. කවුරු ලකුණු දාගත්තත් වැඩේ කෙරෙනව නම් අපට ඒ ඇති.
අශෝක ජයතුංග