හෙට ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරයි
අපවත්වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක, අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනායක හිමිපාණන්ගේ ආදාහන පූජෝත්සවය පැවැත්වෙන හෙට (25) ශෝක දිනක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
කොළඹ දිස්ත්‍රික්කයේ මාංශ හා මත්පැන් අලෙවි හා සුරාසල් ද හෙට (25) දිනයේ වසා තැබෙනු ඇති.
මේ වන විට මහානාහිමියන්ගේ ශ්‍රී දේහය ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාමයේ තැන්පත් කර ඇත. දේහය තැන්පත් කළ පෙරේදා (22 වැනිදා) සවස සිට ගිහි පැවිදි විශාල පිරිසක් විහාරස්ථානයට පැමිණ මහානාහිමිට අවසන් ගෞරව දැක්වූහ.
ඒ අතර ශ්‍රී ලංකාවේ වැඩ සිටින නේපාල, මියැන්මාර් ආදි රටවල හිමිවරුද වෙති. ඊට අමතරව විදෙස් රටවල රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීහුද වරින් වර පැමිණ මහානාහිමි දේහයට අවසන් ගෞරව දක්වති.
අමරපුර නිකායට අයත් මහා සංඝරත්නය පමණක් නොව සියම්, රාමඤ්ඤ නිකායන්හි මහානාහිමිරුන්, අනුනාහිමිවරුන් ඇතුළු මහ සංඝරත්නය මෙන්ම අන්‍යාගමික පූජකවරුද මහානාහිමියන්ට අවසන් ගෞරව දැක්වීමට පැමිණියහ.
මහානාහිමියන්ගේ අපවත්වීම පිළිබඳ සංවේගය පළකරමින් විදෙස් බෞද්ධ සංවිධාන හා විවිධ රටවල නාහිමිවරුන්ද ශෝක ප්‍රකාශ විහාරස්ථානයට එවා තිබේ.
හෙට (25 වැනිදා) දහවල් 1.00 දක්වා ගල්කිස්ස ධර්මපාලාරාමයේ තැන්පත් කර තිබෙන මහානාහිමිගේ ශ්‍රී දේහය සහිත විශේෂ රිය පෙරහර නිදහස් චතුරශ්‍රය දක්වා ගමන් ගනී.
දේහය නිදහස් චතුරශ්‍රයේ තැන්පත් කිරීමෙන් පසු ආගමික වතාවත් ඉටුකෙරේ. අනතුරුව ත්‍රෛනිකාය වෙනුවෙන් අනුශාසනා පැවැත්වේ.