Top Story

හෙරොයින් කිලෝ 2ක් සමඟ ඉන්දීය යුවලක් රේගු බාරයට

රුපියල් දෙකෝටි හතලිස් පන් ලක්ෂයක් වටිනා හෙරොයින් තොගයක් ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ ඉන්දීය ජාතික ගුවන් මගීන් යුවළක් අද(15) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් දෙදෙනා අද දින අලුයම 1.52 ට ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ස්පයිසි ජෙට් ගුවන් සේවයේ එස්.ජී- 001 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර , එදින අලුයම 2.40 ට පමණ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබුණි.

මොවුන් විසින් රැගෙන ආ ගමන් මල්ලක , ව්‍යාජ පතුලක් සකස් කර , ඒ තුළ කිලෝ ග්‍රෑම් 02 යි ග්‍රෑම් 040 ක් බර මෙම ඉස්තරම් බ්‍රවුන් ෂුගර් වර්ගයේ හෙරොයින් තොගය සඟවා ගෙන තිබී ඇත.

මොවුන් දෙදෙනාගෙන් පිරිමි පුද්ගලයා 2017 වසරේ සිට මේ දක්වා 08 වතාවක් මෙසේ ශ්‍රී ලංකාවට පැමිණ ගොස් ඇති බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් සිදු කළ මූලික පරීක්ෂණවලදී අනාවරණය කරගෙන තිබේ.

මොවුන් දෙදෙනා අද දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර , රඳවා තබාගෙන වැඩිදුර විමර්ශන කටයුතු කිරීම සඳහා අවසර ලබා ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පියවර ගනිමින් සිටිති.

නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ උපදෙස් මත , පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ අධ්‍යක්ෂ , ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ටී.සී.ඒ.ධනපාල මහතාගේ අධීක්ෂණය යටතේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති.