News

හොරෙන් රට පනින්න හැදූ ලාංකිකයන් දෙදෙනෙක් මාට්ටු

වෙනත් පුද්ගලයකුට අයත් ගුවන් ගමන් බලපත්‍රයකින් කැනඩාවට හා ව්‍යාජ වීසා බලපත්‍රයක් උපයෝගී කරගෙන ජර්මනියට පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ඊයේ (11 වැනිදා) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අන්සතු ගුවන් ගමන් බලපත්‍රයකින් කැනඩාව බලා පිටත්ව යෑමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි තැනැත්තා 35 හැවිරිදි චාවාකච්චේරි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එමෙන්ම ව්‍යාජ ජ​ර්මානු වීසා බලපත්‍රයක් සහිතව විදේශගත වීමට පැමිණි 29 හැවිරිදි තරුණිය යාපනය​ පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මොවුන් දෙදෙනා ෆ්ලයි ඩුබායි ගුවන් සේවා කවුළුව වෙත පැමිණි අවස්ථාවේ ඔවුන් සතු ලියකියවිලි ගැන මතුවූ ගැටලු මත දෙදෙනා ගුවන් සේවා නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගුවන් තොටුපළ තුළ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවට අයත් දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත යොමු කර තිබේ.

තාක්ෂණික පරීක්ෂාවන් සහ ගුවන් මගියාගෙන් සිදුකළ වාචික ප්‍රශ්න කිරීම්වලදී එය අන්සතු ගමන් බලපත්‍රයක් බවත්, ජර්මනිය බලා පිටත්ව යෑමට පැමිණි කාන්තාව සතු වීසා බලපත්‍රය ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කූඨ ලෙස සකස් කළ එකක් බවත් මෙම දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් සිදුකළ විමර්ශනවලදී තහවුරු වී ඇත.

එහිදී තමන් නොහඳුනන තැරුව්කරුවකු මගින් මෙම ව්‍යාජ වීසා බලපත්‍රය තමාට මොරටුව ප්‍රදේශයේදී ලැබුණු බවත් තමන් ඒ සඳහා රුපියල් ලක්ෂ 10 ක මුදලක් එම තැරැව්කරුට ගෙවූ බවත් මෙම කාන්තාව දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් සිදුකර ප්‍රශ්න කිරීම්වලදී පවසා තිබේ.

එමෙන්ම මෙම කාන්තාවගේ සැමියාද ජර්මනියේ වාසය කරන බවත්, ඔහුද ව්‍යාජ නේවාසික වීසා බලපත්‍රයක් භාවිත කරමින් ජර්මනියට පැන ගොස් ඇති බවත් එම නිලධාරීන් මෙම කාන්තාවගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය කරගෙන තිබුණි.

ටී. කේ. ජී. කපිල – කටුනායක