නවතම ප්‍රවෘත්ති

මිනී මරන්න පහසු ක්‍රමයක්

අන-වින, හදි-හූනියම් ආදිය පිළිබඳව නව සමාජ කතිකාවක් මේ වන විට දියත්ව තිබේ. එමගින් ගුප්ත ශාස්ත්‍ර ආදියේ මුවාවෙන් අසරණයන්ගේ කණ කර, ඉහ ඉණ සේම ඉහ මොළ කන කූට ජාවාරම්කරුවන් පිරිසක් ‘බොරදියේ මාළු  බෑමකට’ සැරසී සිටිනු පෙනෙයි.

 

මේ අතර බුලත් නටුවකට දෙහි කටුවක් ගසා, මන්ත්‍ර බලයෙන් ඊට නයි විෂ ඇතුළු කළහැකි ගුරුකමක් දන්නා මන්ත්‍රාචාර්යවරයකු අනුරාධපුරේ සිටින බව මට අසන්නට ලැබුණේ මගේ ජන විශ්වාස කටයුතු සඳහා නිබඳවම සහාය දක්වන පූජ්‍ය කදුරුපොකුණේ සුමංගල හිමිපාණන් වෙතිනි. එසේ නයි විෂ සහිත දෙහි කටුවකින් ඇනීමෙන් යම් පුද්ගලයකු ක්ෂණිකව මරණයට පත්කළ හැකි බවට එම මන්ත්‍රකරු පවසන බව ද උන්වහන්සේ මා හා කීහ. සුමංගල හිමියන්ට දැන ගැනීමට ලැබී ඇති මෙම ගුරුකමම නොවුණත් ඊට බෙහෙවින් සමාන වින කර්ම අතීතයේ මාතර දිස්ත්‍රික්කය කේන්ද්‍රගතව තිබූ බව මා අසා ඇත.

 

කෙසේ වෙතත්, මේ පවසන ආකාරයට නයි විෂ ගුරුකම් මගින් මිනිසුන් මරා දැමිය හැකි නම් ඒ සම්බන්ධයෙන් සිදු කෙරෙන මරණ පරීක්ෂණවලදී මරණයට හේතුව නයි විෂ ශරීරගත වීම ලෙස අනාවරණය විය යුතුය. එසේ වුවද, ඒ තැනැත්තාට එම චෝදනාවෙන් නිදහස් වීමට ද ඉඩක් ලැබෙන බවට එම මන්ත්‍රකරු පවසා ඇත්තේ, 1960 දශකයේ අනුරාධපුර කලත්තෑවේදී මිනීමැරුම් දාමයක් සිදු කොට පෝරකයට ගිය ඇල්ෆ්‍රඩ් සොයිසා ද එසේ නයි විෂ කැවූ දෙහි කටුවෙන් මිනිසුන් ඝාතනය කළ අයකු බව පවසමිනි.

 

“ඇල්ෆ්‍රඩ් සොයිසා ගැන කියනකොට මාත් ඉතින් කිව්වා, කොහොම හරි ඒ මනුස්සයා අන්තිමේ එල්ලුම්ගස් ගියානේ කියලා. හැබැයි ඉතින් ඒ මොක වුණත් බුලත් කොළේ තුඩෙයි, නාරටියෙහි නයි විෂ තියනවා කියන විශ්වාසය හින්දා ඔය දෙහි කටුවේ නයි විෂ කතාව හුඟ දෙනෙක් පිළිගන්නවත් ඇති”, පැවසූ උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියේ නාගවල්ලී දැහැන නම් වන මන්ත්‍රයෙන් ජීවම් කරන ලද බුලත් නටුවකට ගැසූ දෙහි කටුව ඉන් ගලවා යමකුගේ සිරුරට ඇන්න පමණින් ඒ පුද්ගලයා එතැනම සිහිසුන්ව වැටෙන බවකි. “අද රටේ සිද්ධ වෙන මිනීමැරුම්වල හැටියට ඔය වගේ ලේසියෙන් මිනී මරණ ක්‍රමයක් තියනවා නම් ඔය වැඩි දෙනෙක් මැරෙන්න ඕන, වෙඩි වැදිලා නෙවෙයි නයි ගහලා”, මම ද උන්වහන්සේට සිනාසෙමින් පිළිතුරු දුන්නෙමි. “අනික ඔය ඇල්ෆ්‍රඩ් සොයිසාගේ මිනිමැරුම් ගැන කියැවෙන කිසිම තැනක මන්තර ගුරුකම් ගැන සඳහන් වෙන්නේ නෑ නේද?” සුමංගල හිමියෝ ද අසා සිටියහ.

 

සර්ප හෝ වෙනත් කිසිදු විෂක් ගුප්ත බලයකින් හැසිරවිය හැකි බව විද්‍යාත්මකව කිසිසේත් පිළිගත නොහැකිය. නමුත් මිනිස් සිරුරේ ප්‍රතික්‍රියා කෙරෙහි බලපාන්නේ කායික සාධක පමණක් නොවේ. පුද්ගලයා තුළ පවතින බිය, සැකය, අපේක්ෂාව සහ විශ්වාසය ද ඇතැම් අවස්ථාවලදී සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකිය. මෙහි සඳහන් අන්දමට, විෂ නොමැති කටුවක් ඇනුණු පුද්ගලයකු එය නාගයකුගේ විෂ දළ පහරක් ලෙස වරදවා වටහා ගතහොත්, සැබෑ විෂ ශරීරගත වීමකදී ඇති විය හැකි ඇතැම් රෝග ලක්ෂණවලට සමාන ලක්ෂණ ඔහු තුළ ද ඇති විය හැකිය.

නෙත්මි තෂාරා

සම්පුර්ණ ලිපිය කියවන්න ධරණී පුවත්පත බලන්න