ජාතික – අන්තර්ජාතික භාෂා දෙකෙන්ම ප්රවෘත්ති කියන ජාතික රූපවාහිනියේ ‘සරසි’
ඒ මීට වසර 17 කට පෙර එක්තරා දිනයකි. වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් පන්නල ජාතික පාසලේ ප්‍රාථමික අංශය පුරා පැතිර තිබුණේ මීයට පිම්බාක් වැනි නිහඬතාවයකි. ඒ නිහඬතාව පරයා එහි වේදිකා මස්තකයට නැඟී සිටි පහ වසර සිසුවියකගේ හඬ පන්ති කාමරය පුරා රැව් පිළිරැව් දෙමින් තිබිණි. හඬ උස් පහත් කරමින්, ගාම්භීර සහ මනහර ලෙසින් ඇය වේදිකාවේ කතාවක් පැවැත්වුවාය. ඇගේ පුංචි මුවින් ගලා ආ සාරගර්භ අදහස් වෙත ඇදී බැඳී ගිය පිරිස අතරේ දරු දැරියන්, විෂය භාර ගුරු මහත්ම මහත්මීන් පමණක් නොව, අහම්බෙන් එහි පැමිණි පන්නල ජාතික පාසලේ මාධ්‍ය ඒකකය භාර ගුරුතුමිය වූ ජී.වී.එස්.සී. ස්වර්ණලතා මහත්මිය ද විය. එතුමියගේ පැමිණීම ඇගේ ජීවිතයේ නව මාවතක් විවර කරනු ඇති බව එදා එතැන සිටි කිසිවෙකුත් නොසිතන්නට ඇත.
ඒ දැරිය අද වනවිට විසිහත් හැවිරිදි සුන්දර තරුණියකි. ඇගේ නම ඒ.එම්. සරසි නේරංජනා අධිකාරි ය. ඔබේ මතකයට අවැසි ලෙස ඇගේ නම කිව්වොත් ඒ සරසි අධිකාරි ය. සරසි, එදා මෙන්ම අදත් මනා හඬ පෞරුෂයකින් යුතුව ඇගේ ප්‍රේක්ෂකාගාරය අමතන්නීය. වෙනසකට ඇත්තේ එදා ඇගේ ප්‍රේක්ෂකාගාරය පන්ති කාමරයට සීමා වුව ද, අද මුළු මහත් රටම ඇගේ ප්‍රේක්ෂකාගාරය බවට පත්ව තිබීමයි. නමුත් අද ඇගේ හඬ රටට ඇසෙන්නේ එක් භාෂාවකින් පමණක් නොවේ. සිංහල හා ඉංග්‍රීසි ද්විභාෂාවෙන්ය. මෙරට පළමු ද්විභාෂා ප්රවෘත්ති නිවේදිකාව ලෙස සුවිශේෂී අනන්‍යතාවක් දිනාගත් ජාතික රූපවාහිනියේ සරසි වෙනුවෙන් අද මේ ඉඩ වෙන් වන්නේම ඇගේ ඒ අපූර්ව හැකියාව නිසාය.
“මගේ මාධ්‍ය ජීවිතයට මූලික අඩිතාලම වැටුණේ පාසලේ මාධ්‍ය ඒකකයෙන්. ඒ කාලේ එය භාරව හිටපු ජී.වී.එස්.සී. ස්වර්ණලතා ගුරුතුමිය මගේ කතා දැකලා, අහලා මටත් පාසලේ මාධ්‍ය ඒකකයට සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කළා.”
ඒ ආරාධනයෙන් පාසල් මාධ්‍ය ඒකකයට අවතීර්ණ වූ ඇය, ස්වර්ණලතා ගුරුතුමියගේ ගුරුහරුකම් මැද සිය නිවේදන හැකියාව වැඩි වර්ධනය කරගත්තාය. පාසැල් අධ්‍යාපනය හමාර කොට විශ්වවිද්‍යාල අධ්‍යාපනයට වරම් ලැබූ දා පටන් සරසි සිහින දුටුවේ කෙදිනක හෝ කථිකාචාර්යවරියක බවට පත්වීමටයි. නමුත් විශ්වවිද්‍යාලයේ අවසන් වසරට පියනඟන විට, ඒ කථිකාචාර්ය සිහිනයට විරාමය තබන දැන්වීමක් ඇගේ නෙත ගැටුණේ අහම්බෙනි.
“අහම්බෙන් දැකපු දැන්වීමක් නිසා ශ්‍රී ලංකා රූපවාහිනී පර්යේෂණ හා පුහුණු ඒකකය (Rupavahini Research and Training Unit) මඟින් සංවිධානය කරපු ප්රවෘත්ති නිවේදනය හා වැඩසටහන් ඉදිරිපත් කිරීම සමඟ සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා.”
ඒ ලද අවස්ථාව නිසාම සරසිගේ නිවේදන හැකියාවට සදිසි අවස්ථා රැසක් එතැන් පටන් ඈ සොයා ආවාය.
“මාධ්‍ය නිවේදන පාඨමාලාවේ ප්‍රායෝගික පරීක්ෂණයෙන් මම පළමු ස්ථානය දිනාගත්තා. ඒත් එක්කම මට ජාතික රූපවාහිනියේ ප්රවෘත්ති අංශයට එක්වීමට අවස්ථාව ලැබුණා. මුලින්ම ප්රවෘත්ති නිෂ්පාදන කටයුතුවල නිරත වෙමින් ඒ පිළිබඳ අත්දැකීම් ලබාගත්තා. ජ්‍යෙෂ්ඨයන්ගේ මඟපෙන්වීමත් එක්ක ප්රවෘත්ති සඳහා හඬ කැවීමටත් අවස්ථාව උදා වුණා. 2026 වසරේදී ඉංග්‍රීසි ප්රවෘත්ති සඳහාත් හඬ කැවීමට අවස්ථාව ලැබුණා. ඒ අතරතුර ජාතික රූපවාහිනියේ ප්රවෘත්ති හා කාලීන සිදුවීම් අංශයේ අධ්යක්ෂ, විමුක්තිකා කාරියවසම් මැඩම්ගේ යෝජනාවකට අනුව තිර පරීක්ෂණයකට මුහුණ දී එයින් සමත් වීමත් සමඟ පසුගිය නොවැම්බර් 2 වැනිදා සිට ඉංග්‍රීසි ප්රවෘත්ති නිවේදිකාවක ලෙස ප්‍රේක්ෂකයන් අතරට එන්න මට හැකි වුණා. එදා ඉඳන් මම සිංහල භාෂාවෙන් විතරක් නෙමෙයි ඉංග්‍රීසි භාෂාවෙනුත් ප්රවෘත්ති නිවේදිකාවක් විදියට කරළියට ආවා.”
නෙත්මි තෂාරා
සම්පුර්ණ ලිපිය කියවන්න ධරණී පුවත්පත බලන්න
