Dharanee Health Clinic

මහත්වරුන්ට විතරක් ඇතිවෙන මේ පිළිකාව ගැන නෝනලා සැලකිලිමත් විය යුතුයි

දරුවන්ට මූලික ලිංගික අධ්‍යාපනය ලබාදීම පාසල් තුළදී සිදුවිය යුතු බවට වරින් වර කතා කරළියට ආවද, අදටත් එවැන්නක් සිදුවෙන බවක් පෙනෙන්නට නැත. මෙහි ඇති අවාසිදායක තත්ත්වය වන්නේ, ලිංගික සාක්ෂරතාවය අඩු පිරිසක් රට තුළ බිහිවීම සහ එහි අතුරු ප්‍රතිඵල වශයෙන් ලිංගික අපරාධ ආදිය සිදුවීම පමණක් නොවේ, අමතරව ලිංගිකත්වය පිළිබඳව දැනුවත්වීම අවශ්‍යතාවයක් ලෙස නොව පාපයක්, වරදක් ලෙස සලකන සහ තම සහකරු සමඟ හෝ ඒ පිළිබඳව විවෘතව කතාබහ කිරීම නොකළ යුත්තක් බව සිතන පිරිසක් බිහිවී තිබීමයි. මේ නිසා මේ වන විට යුග ජීවිත ගතකරන බොහෝ දෙනෙකුගේ පවුල් අවුල් වී ඇති බව නොරහසකි. එවැනි අයට දැනුවත් වීම උදෙසාත්, තවත් කෙනෙකු දැනුවත් කිරීම උදෙසාත්, සකස් වෙන මෙම ලිපි පෙළ, ඔබට අත්වැලක් වනු ඇති බවයි අපේ විශ්වාසය.

ලිපිය සඳහා සම්පත් දායකත්වය ලබාදෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ මෞත්‍ර ලිංගික සහ වකුගඩු බද්ධ කිරීමේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරිනී, යුරෝපීය ලිංගික වෛද්‍ය කමිටුවේ සාමාජික (Fellow of the European Committee of Sexual Medicine) යසුනි මාණික්කගේ මහත්මියයි.

 

සෑම වසරකම නොවැම්බර් මාසය පිරිමි පුද්ගලයන්ගේ සෞඛ්‍යය පිළිබඳව ලෝකයේ වැඩි අවධානයක් යොමු කෙරෙන මාසයක්. පිරිමින් අතර බහුලව දක්නට ලැබෙන පුරස්ථි ග්‍රන්ථියේ පිළිකාව, වෘෂණ කෝෂ පිළිකාව මෙන්ම පිරිමි පුද්ගලයන්ගේ මානසික සෞඛ්‍යය පිළිබඳව දැනුවත් කිරීම මෙහි ප්‍රධාන අරමුණක්. ඒ අතරින් පිරිමි සෞඛ්‍යය පිළිබඳව කතා කරන විට විශේෂ අවධානයක් යොමු කළ යුතු රෝගයක් වන්නේ පුරස්ථි ග්‍රන්ථියේ පිළිකාවයි. වෘෂණ කෝෂ පිළිකාව පිළිබඳව අප මීට පෙර ලිපියකින් සාකච්ඡා කළ බැවින්, මෙවර අපගේ වැඩි අවධානය යොමු වන්නේ පුරස්ථි ග්‍රන්ථියේ පිළිකාව වෙතයි.

 

පවුලේ ආදරණීයයන්ගේ සෞඛ්‍යය ගැන නිරන්තරයෙන් සැලකිලිමත් වන කාන්තාවන්, තම සහකරුගේ සෞඛ්‍යය ගැනත් ඒ තරමටම අවධානය යොමු කරනවාද? බොහෝ පිරිමින් තම සෞඛ්‍ය ගැටලු නොසලකා හරිමින්, රෝග ලක්ෂණ සඟවාගෙන හෝ වෛද්‍ය උපදෙස් ලබාගැනීම කල් දමමින් සිටිනවා. එවැනි පසුබිමක පිරිමි සෞඛ්‍යය පිළිබඳව කතා කිරීමත්, ඔවුන් දැනුවත් කිරීමත් ඉතා වැදගත්. ඉතින් ඒ නිසා මෙම රෝගය කල්තියා හඳුනාගැනීමේ වැදගත්කම කුමක්ද? ඒ වෙනුවෙන් තම සහකරුගේ සෞඛ්‍යය වෙනුවෙන් බිරිඳකට හෝ සහකාරියකට කළ හැකි කාර්යභාරය කුමක්ද? අන්න ඒ ගැනයි යහනට පහන ලිපි මාලාවේ මෙවර ලිපියෙන් අපි ඔබව දැනුවත් කරන්න හිතුවේ.

 

පිරිමි පුද්ගලයන්ට වැළඳෙන පුරස්ථි ග්‍රන්ථි ආශ්‍රිත පිළිකාව ගැන කාන්තාවන් දැනුවත් වීම වැදගත් ඇයි?

 

පුරස්ථි ග්‍රන්ථියේ පිළිකාව කියන්නේ පිරිමින්ට පමණක් බලපාන රෝගයක්. ඒත් මේ රෝගය ගැන කාන්තාවන් දැනුවත් වීමත් ඉතාම වැදගත්. විශේෂයෙන්ම තමන්ගේ සැමියාගේ හෝ සහකරුගේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වෙන කාන්තාවකට මේ පිළිබඳව දැනුමක් තිබීම වටිනවා.

 

විශේෂයෙන්ම ක්‍රමයෙන් වයස්ගතවීමත් සමග මෙම රෝගය ඇතිවීමේ අවදානමත් වැඩි වෙනවා. ඒ වගේම පවුලේ කෙනෙකුට මේ රෝගය තිබුණා නම් අවදානම තවත් වැඩි වෙන්න පුළුවන්.

 

මේ රෝගය ගැන කතා කරද්දී අපි විශේෂයෙන්ම මතක තියාගන්න ඕන දෙයක් තමයි මුල් අවධියේදී බොහෝවිට පැහැදිලි රෝග ලක්ෂණ පෙන්නුම් නොකිරීම. ඒ නිසා තමන්ට කිසිම අපහසුතාවක් නැහැ කියලා හිතලා රෝගය ගැන නොසලකා ඉන්න එක සුදුසු නැහැ.

 

කාන්තාවන් විශේෂයෙන් මේ ගැන සැලකිලිමත් විය යුත්තේ ඇයි?

 

බොහෝ පිරිමි තමන්ගේ රැකියාවට, පවුලේ වගකීම්වලට සහ දෛනික වැඩකටයුතුවලට වැඩි අවධානයක් යොමු කරනවා. ඒ අතරේ තමන්ගේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වෙන්න අමතක කරන අවස්ථාත් තියෙනවා. සමහරුන්ට තමන්ට තියෙන සෞඛ්‍ය ගැටලුවක් ගැන කතා කරන්නත්, වෛද්‍යවරයෙක් හමුවෙන්නත් ඒ තරම් උනන්දුවක් නැහැ.

 

අන්න ඒ වගේ වෙලාවක තමයි බිරිඳකට හෝ සහකාරියකට වැදගත් කාර්යභාරයක් කරන්න පුළුවන් වෙන්නේ. තමන්ගේ සහකරුගේ සෞඛ්‍යයේ සිදුවන වෙනස්කම් ගැන අවධානයෙන් ඉඳලා, අවශ්‍ය වෙලාවට ඒ ගැන කතා කරන්නත්, වෛද්‍යවරයෙක් හමුවීමට ඔහුව දිරිමත් කරන්නත් ඇයට පුළුවන්.

 

පුරස්ථි ග්‍රන්ථිය යනු කුමක්ද? එහි පිළිකාවක් ඇතිවන්නේ කෙසේද?

 

පුරස්ථි ග්‍රන්ථිය යනු පිරිමි ප්‍රජනක පද්ධතියට අයත් කුඩා ග්‍රන්ථියක්. මෙය මුත්‍රාශයට යටින් සහ ගුද මාර්ගයට ඉදිරියෙන් පිහිටා තිබෙන අතර මුත්‍රා පිටවන නාලයේ ආරම්භක කොටස වටා පිහිටනවා. මෙම ග්‍රන්ථියෙන් ශුක්‍ර තරලයේ කොටසක් නිපදවනු ලබනවා.

 

මෙම ග්‍රන්ථියේ ඇති සෛල පාලනයකින් තොරව වර්ධනය වී පිළිකා සෛල බවට පත්වීමෙන් පුරස්ථි ග්‍රන්ථි ආශ්‍රිතව පිළිකාමය තත්ත්වයක් හටගන්න පුළුවන්. එහිදී ඇතැම් පිළිකා ප්‍රභේද ඉතා සෙමින් වර්ධනය වන අතර, තවත් සමහර වර්ග වේගයෙන් වර්ධනය වී ශරීරයේ වෙනත් කොටස්වලට ද පැතිර යාමේ අවදානමක් පවතිනවා.

 

මෙහිදී විශේෂයෙන්ම මතක තබාගත යුතු කරුණක් වන්නේ පුරස්ථි ග්‍රන්ථිය විශාල වීම සහ පුරස්ථි ග්‍රන්ථියේ පිළිකාව යනු එකම රෝග තත්ත්ව දෙකක් බව. වයසත් සමඟ පුරස්ථි ග්‍රන්ථිය විශාල වීම සාමාන්‍යයෙන් දක්නට ලැබෙන අතර, එය බොහෝවිට පිළිකා නොවන තත්ත්වයක්. ඒ නිසා මුත්‍රා කිරීමේ අපහසුතා ඇති වූ පමණින් එය පිළිකාවක් ලෙස සැලකීම සුදුසු නැහැ.

 

පුරස්ථි ග්‍රන්ථියේ පිළිකාව වැළඳීමේ අවදානම වැඩි කාටද?

නෙත්මි තෂාරා

සම්පුර්ණ ලිපිය කියවන්න ධරණී පුවත්පත බලන්න