Latest News

මාස 2ක් වයසැති බිළිඳෙකු පත්තෑයෙක් නිසා නිදියහනේදීම මරුට

මුන්දලම අගුණවිල දේවාලහංදිය ප්‍රදේශයේ පදිංචි මාස දෙකයි දවස් 22ක් වයසැති කුඩා බිළිඳෙකුට පත්තෑයකු දෂ්ඨ කිරීමෙන් නිදියහනේදීම මරණයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස්ව ඇත්තේ, සිතූප දිලුම් සචිත්‍ර නැමති දරුවායි.

මෙහිදී මරණයට පත් බිළිඳා සිය මව සහ වැඩිමහල් සහෝදරියන් සමග එකම ඇඳක නිදා සිට ඇති අතර පියා වෙනම ස්ථානයක නිදාසිට ඇත.

ඒ අනුව උදැසන අවදිවී බැලීමේදී සිය දරුවාගේ නිහඬතාවය හේතුවෙන් පරීක්ෂා කළ පසු ශරීරය සීතලව තිබු බවත් අනතුරුව දරුවා රෝහලට රැගෙන ගිය බවත් මාපියන් සඳහන් කළා.

කෙසේවෙතත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනුයේ , ඒ වන විටත් දරුවා මියගොස් සිටි බවයි.

පසුව දරුවාගේ පියා නිවෙසට පැමිණ දරුවා නිදා සිටි ඇඳ පරීක්ෂා කිරීමේදී එහි තරමක් විශාල පත්තෑයකු සිටි බව පොලිසියට පවසා තිබෙනවා.

අදාළ මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පල්ලම පොලිසිය විසින් සිදු කරනු ලබයි.