Latest News

අතුරුදන් වී දින 18කට පසු සිව් හැවිරිදි දැරිය සොයා ගැනෙයි

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ, කාර්නවොන් ප්‍රදේශයේදී අතුරුදන් වූ අවුරුදු 4ක් වයසැති දැරියක් නිරුපද්‍රිතව සොයාගෙන තිබෙනවා.

ඒ ඇය අතුරුදන් වී දින 18කට පසුවය.

ක්ලියෝ ස්මිත් නමැති එම දැරිය සිය පවුලේ සාමාජිකයන් සමග කාර්නවොන් නගරයේ කඳවුරු භූමියකට ගොස් තිබුණ අතර එහි කූඩාරම් බැඳ සිටියදී දැරිය අතුරුදන් වී තිබුණේ ඔක්තෝබර් 16 වනදා යි.

ඒ සමග දැරිය සොයා දැවැන්ත සෝදිසි මෙහෙයුමක් ආරම්භ කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කළා.

ස්මිත් දැරිය ගැන තොරතුරක් ලබාදෙන අයෙකුට ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියනයක ත්‍යාග මුදලක් ලබාදෙන බවටත් බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජය නිවේදනය කර තිබුණා.

මෙම සෝදිසි මෙහෙයුමට දායක වූ පොලිස් නිලධාරීන් සහ හදිසි සේවා භටයන් සංඛ්‍යාව සීයකට අධික වන අතර ගොඩබිම් මෙහෙයුමට අමතරව ඇය සොයා ගුවන් හා සාගර මෙහෙයුමක්ද ආරම්භ කර ඇත.

දැවැන්ත සෝදිසි කිරීමකින් පසු ක්ලියෝ ස්මිත් සොයාගෙන තිබුණේ කාර්නවොන් නගරයේම පිහිටි අගුළු දමා තිබූ නිවසක් තුළ සිටියදීයි.

නිවසේ දොර කඩා ඊට ඇතුළු වූ පොලිසිය දැරිය මුදාගෙන ඇති අතර සිදුවීම සම්බන්ධයෙන් සැකපිට 36 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අතුරුදහන්ව සිටි දැරිය මේ වන විට ඇයගේ මව්පියන් භාරයට පත්කර තිබෙනවා.