විශේෂාංග

කෙල්ල ලොකුවට අඬන්නේ නෑ, ඒ නිසා එයා පේන දුරින් තියාගෙන මට ඕන වැඩක් කරගන්න පුළුවන් – සාරා අබේවර්ධන

මෝරපු දරුගැබක් කුසේ දරාගෙන ප්‍රසිද්ධියේ මාධ්‍ය ඉදිරියට ඇවිත් අඩව් – කස්තිරම් අල්ලපු හැඩකාර නර්තන ශිල්පිනියකට විරුද්ධව පහුගිය කාලේ අපේ රටේ සමාජ මධ්‍යයේ උදවිය අඩව් – කස්තිරම් අල්ලපු හැටි සමහරවිට ඔබත් දකින්න ඇති. ඒ නර්තන ශිල්පිනිය තමයි සාරා අබේවර්ධන. එදා කුසේ දරාගෙන ඉඳපු දියණියව දෝතින් දරාගෙන අද ‘ධරණී’ කවරය දරාගෙන ඉන්නෙත් ඒ සාරාම තමයි. ඉතින්, මැයි මාසෙ 12 වැනිදාට යෙදෙන මව්වරුන්ගේ දිනය හේතු කරගෙනයි මෙවර ‘ධරණී’ කවරය හැඩ කරන්නට අපි ඇයටත් මාස හතරක් වයසැති ඇගේ දියණිය ට්‍රාසාටත් ආරාධනා කළා. 

මවක් වීම මොන වගේ හැඟීමක්ද කියන එක වචනවලට පෙරළන්න බැරි වුණත්, ඒක විශ්වයේ තියෙන ආදරණීයම හැඟීම වෙන්න ඕන කියලයි සාරා අපිට කිව්වේ. 

“ලෝක මව්වරුන්ගේ දිනය කියන එක ගැන මට ඒ කාලෙ ලොකු හැඟීමක් තිබුණේ නෑ. මොකද ඒකත්  වාණිජකරණයට ලක්වුණු තවත් එක දවසක් කියලයි මට දැනිලා තිබුණේ. හැබැයි මෙවර ලෝක මව්වරුන්ගේ දිනය සම්බන්ධව මට දැනෙන හැඟීම වෙනස්.  මමත් දැන් අම්මා කෙනෙක්නේ කියන හැඟීම මට තදින්ම දැනෙනවා. ඉතින් මගේ දුවට හොඳ අම්මා කෙනෙක් වෙනවා කියන අධිෂ්ඨානයත් හදවතේ දරාගෙන ජීවිතේ පළවැනි වතාවට ලෝක මව්වරුන්ගේ දිනය සමරන්න බලාගෙන ඉන්නවා.”

සාරා ඇයගේ දියණිය පපුවට තුරුළු කරගෙන එහෙම කියද්දි කාලෙකට කලින් ඒ දියණියම කුසේ දරාගෙන නටපු නැටිල්ල ගැනත් අපි සාරාගෙන් අහලා බැලුවා. 

“ගිය අවුරුද්ද මැද මගේ මිතුරෙක් වෙන ගයාන් ශ්‍රීමාල්ගේ තාන හැන්දෑව නර්ථන ප්‍රසංගය තිබුණා. ඒකට සහභාගී වෙන්න බලාගෙන හිටියට ඒ වෙනකොට මං ප්‍රෙග්නන්ට්. ඉතින් දෙතුන් පාරක්ම කල්පනා කළා ඩාන්ස් කරනවද නැද්ද කියලා. හිත හිතා ඉන්නකොට තමයි ගයාන් කිව්වේ ‘විජය කුවේණි’ කියලා අයිටම් එකක් තියෙනවා සාරා කැමති නම් ඒ අයිටම් එක කරන්න කියලා. මුලදි බයක් නොතිබුණාමත් නෙවෙයි. ඒත් මං පරිස්සමට ඒ ඩාන්ස් එක කළා. ඒක හිතුවට වඩා සාර්ථක වුණා. ඒ වෙලාවේ ගත්ත ෆොටෝස් කිහිපයක් තමයි ෆේස්බුක් එකේ වෛරල් වුණේ. එතැනදී ගොඩක් අය මට ආශීර්වාද කරලා තිබුණා. තවත් සමහර අය විවේචන එල්ල කරලත් තිබුණා.”

දරුවෙක් ලැබෙන්න ඉන්නකොට දුවන්න පනින්න දඟලන්න හොඳ නෑ කියලනේ අපි අහලා තියෙන්නේ. ඉතින් සාරාට ආශිර්වාද මැදින් ආපු විවේචන සාධාරණ නැද්ද කියලත් මං ඇහුවා.

“එදා මං නටද්දි දුව බඩට ඇවිත් මාස පහයි. ඒ වගේ වෙලාවක ඔය වගේ දෙයක් කරන එක අවදානම් තමයි. ඒත් මං ඒක කළේ හිතුමනාපෙට නෙවෙයි. වෛද්‍යවරයෙකුගේ උපදෙස් ඇතිවයි එහෙම කළේ.  හැමෝටම මං කරපු දේ කරන්න කියලා මං අනුමත කරන්නේ නෑ. මොකද හැමෝගේම සෞඛ්‍ය තත්ත්වය එක වගේ නෑනේ.”

මේ වෙනකොට මාස හතරක් වන දියණියට සාරා නම් තියලා තියෙන්නේ ‘ට්‍රාසා නොර්යානා ආමත්’ කියලා. නමේ පොඩි වෙනසක් දැනුණු හින්දම ඒකත් ඇයගෙන් නිකමට අහලා බලන්න හිතුණා.

“මගේ හස්බන්ඩ්ගේ නම ට්‍රැවිස් දිමිත්‍රි ආමත්. එයාගේ දිමිත්‍රි කියන නමයි මගේ සාරා කියන නමයි පොඩ්ඩක් කලවම් කරලයි ට්‍රාසා කියලා දුවට නම තියන්න හිතුවේ. අපි නම හැදුවේ දුව ලැබෙන්න කලින්. අපිට දුවක් ලැබුණොත් ඒ නම දාමු කියලයි හිතාගෙන හිටියේ. නම හදද්දි නම් ඒකට තේරුමක් තියෙනවද කියලා බැලුවෙත් නෑ. ඒත් පස්සේ දැනගත්තා ඒ නමෙන් කියවෙන්නේ අධිෂ්ඨානශීලී බව, ශක්තිමත් බව වගේ අදහසක් කියලා.”

මවක් වුණු එක අලුත් අත්දැකීමක් හින්දා සාරා මේ දවස්වල ඉන්නේ හරිම සතුටින් කියලයි කිව්වේ. ඒ වගේම ඇය කොච්චර කාර්යබහුල කෙනෙක් වුණත් මේ ටිකේම දුවත් එක්ක වැඩිපුර කාලේ ගතකරනවා කියලත් කිව්වා.

“මං කොච්චර වැඩ කළත් මට එයාව පේන දුරින් ඉන්න ඕනේ. මගේ සැලුන් එකේ, ඩාන්සින් ස්ටූඩියෝ එකේ දුවට නිදහසේ ඉන්න තැනක් දැනට හදලා තියෙනවා. කෙල්ල ලොකුවට අඬන්නේ නෑ. ඒ හින්දා එයා පේන දුරින් තියාගෙන මට ඕන වැඩක් කරගන්න පුළුවන්.”

සාමාන්‍යයෙන් මව් පදවිය ලැබුවට පස්සේ ඒ මවගේ රූපය වගේම සිරුරේ හැඩයත් යම්කිසි දුරකට වෙනස්වෙනවා. සාමාන්‍ය මවකට ඒක ගැටලුවක් නොවුණත් වෘත්තීය නර්තන ශිල්පිනියක් වුණු සාරා වගේ කෙනෙකුට ඒක ගැටලුවක් වෙන්න පුළුවන්. 

“මම දුව ලැබෙන්න ඉන්නැද්දි මානසික නිදහස ගැන සෑහෙන්න හිතුවා. නිතරම බැලුවේ හිනාවෙලා ඉන්න. ඒක දරුවටත් හොඳයිලුනේ. ඒ වගේම මං සෑහෙන්න කෑමබීම ගැන හිතුවා. අම්මා කෙනෙක්ට කරන්න සුදුසු ව්‍යායාම වගේ දේවල් කළා. ඒ නිසා ඇත්තටම පෙනුමේ එහෙම ලොකු වෙනසක් වුණේ නෑ.”

සාරාගේ පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි ඇරුනම නංගි කෙනෙක්. පුංචි සන්ධියේ ගුවන් සේවිකාවක් වෙන්න හීන මැව්වත් ඉස්කෝලේ කාලේ නටන්න ගිහිල්ලා අන්තිමේදි නැටුමටම හිත ගියා කියලයි ඇය ‘ධරණී’ට කිව්වේ.

“මං ඉස්කෝලේ කාලේ විෂයක් විදියට නර්තනය කළා. ඒත් හිතුවේ නෑ ඒකෙන් ඉස්සරහට යන්න වෙයි කියලා. ඉතින් එහෙම විෂයක් විදියට නර්තනය කරද්දි නොදැනිම මං ඒකට ආසවුණා. අතාරින්න බැරිවුණා. අන්තිමේ ඒක මගේ වෘත්තිය වුණා. මගේ මුල්ම නර්තන ගුරුවරුන් දෙන්නා මේ වෙලාවේ මතක් කරන්නම ඕනේ. එක්කෙනෙක් විජේරත්න ප්‍රනාන්දු සර්. අනෙක් කෙනා නිශා ලියනගේ මිස්.”

මේ වෙනකොට සාරා නොදන්න පිරිසට වඩා දන්න පිරිස වැඩියි. ඒ ඇය නර්තන ශිල්පිනියක් විදියට නර්තනය පැත්තෙන් සහ රූපලාවණ්‍ය ශිල්පිනියක් විදියට රූපලාවණ්‍ය පැත්තෙන් සාර්ථක ගමනක් යමින් ඉන්න හින්දා.

“මේ වෙනකොට මටම කියලා ඩාන්සින් ස්ටූඩියෝ එකක්, බියුටි සැලෝන් එකක් තියෙනවා. ඒ දෙකත් කරගෙන දරුවත් බලාගෙන ඉන්නවා. මේ ටිකේ නම් මගේ අම්මා තමයි ළඟින් ඉඳන් හැමදේකටම ශක්තියක් වෙලා ඉන්නේ.”

සාරා ඇහැට ප්‍රිය උපදවෙන විදියට ලස්සනට පිළිවෙලට අඳින පළඳින නිතර නිතරම හිනාවෙලා ඉන්න හරි ප්‍රියමනාප යුවතියක්නේ. ඒත් එක්ක කාන්තාවකට පෙනුම කියන දේ කොයිතරම් වැදගත්ද කියලත් සාරාගෙන් අහන්න හිතුණා.

“ගොඩාක් අය කියනවා සාරා ඔයා හරි ලස්සනට ඉන්නවා කියලා. ඔව් ඒක ඇත්ත. ගැහැනියක් වුණාම ලස්සනට පිළිවෙලට ඉන්න ඕනේ. ඒක එක්තරා විදියකට ආභරණයක්. මගේ හස්බන්ඩ් කියලත් වෙනසක් නෑ. එයත් මං වගේම ලස්සනට වගේම පිළිවෙලට ඉන්න ආස කෙනෙක්. මං කොණ්ඩේ කොටට කැපුවෙත් එයාගෙ අදහසකට. ඔය අතරේ සමහරු අහනවා මං මෙහෙම නිතරම හිනාවෙලා ඉන්නේ කොහොමද කියලා. මොන ප්‍රශ්නෙ වුණත් කවදාවත් මං දුක කියන දේ කර ගහගෙන යන්නේ නෑ. එතකොට අපිට ඉස්සරහට යන්න අමාරුයි.”

සාරාට සැමියා ට්‍රැවිස් මුනගැහුනු කතාවත් නොකියාම බෑ. ඇයට ඔහුව මුණගැහිලා තියෙන්නේ ‘කඩුවෙල – කොල්ලුපිටිය 177’ බස් එකකදි. දවසක් සාරා ගමනක් ගිහින් ගෙදර එනකොට මාලබෙන් ට්‍රැවිස් නැඟලා. එතැනින් එහා කතාව ඇගේ වචනවලින්ම මෙහෙමයි.

“එදා එයා මට කාඩ් එක දීලා බැස්සා. ඒ විදියටයි සම්බන්ධය පටන්ගත්තේ. ඒත් අපි මාස හයයි ආදරේ කළේ. එයාට රට යන්න වුණා. ඒ කාලේ ෆෝන් එහෙම නෑ ඉතින්. ඒ නිසා අපිට අපිව මගහැරුනා. ඒ වුණාට අවුරුදු 10කට පස්සේ එයා මාව ෆේස්බුක් එකෙන් හොයාගෙන මැසේජ් කළා. එහෙමයි විවාහ වුණේ. ඒක සංසාර බැඳීමක් කියලයි මට හිතෙන්නේ.”

කතාබහ අවසන් කරමින් සාරා එහෙම කිව්වේ හරි හැඟීම්බරව. ඉතින් ඇයට සුබ පැතුම් එක් කරලා කතාබහට සමු දෙන්න හදන අතරෙයි අපෙන් පුංචි වෙලාවක් ඉල්ලගෙන සාරා පහළින් තියෙන කතාව කිව්වේ.

“මං දන්නවා ‘ධරණී’ පත්තරේ ගොඩාක් තරුණියෝ කියවනවා. ඒ අයට මගේ කතාවෙන් පුංචි දෙයක් කියන්නම්. අපි හැමෝගෙම ගාව අපි නොදන්න විදියේ හැකියාවක් හැංගිලා තියෙනවා. ඒක කොයි මොහොතේ හරි එළියට එනවා. නර්තනය කියන්නේ මගේ තිබුණු හැකියාව. ඉතින් කියවන ඔබත් ඔබ තුළ තියෙන ඒ හැකියාවන් හොයාගෙන ඒවා හොඳින් මුවහත් කරගත්තොත් ඔබටත් දුර ගමනක් යන්න පුළුවන්. ඒකට කරන්න තියෙන්නේ කවුරු මොනවා කිව්වත් තමන්ව විශ්වාස කරන එකයි.”

රුවන් එස්.සෙනවිරත්න

ඡායාරූප – චමත් ඒකනායක