“මගේ හිතට එකඟව මට ඒ බෝධි පූජාව කරන්න බෑ”
හඳ එළිය වැටුණු සාමා මෑණියන්ගෙ සක්මන් මළුවට ඉහළින් කණාමැදිරි කණ්ඩායමක් සක්මන් කරනවා. ඒ අතරෙ මෑණියන්ගෙ කුටියට එපිටින් ඇති වනාන්තරයේ වියැළුණු කොළ රොඩු මත්තෙ තවත් කවුරුන් හෝ සක්මන් කරන බව මට ඇහෙනවා. සමහරවිට රෑට එළිබහින ඉත්තෑ රංචුව වෙන්න ඇති. සවිඥානික සත්වයො වුණාට මොකද, ඒ අයගෙ සක්මනට සතියෙන් උපකාර ලැබෙන බවක් පේන්න නෑ. ඒ අය සසරේ ඇවිදගෙන ආපු විදියටම තවමත් ඔහේ ඇවිදගෙන යනවා. ආ තැනක් හෝ යන තැනක් ගැන ඒගොල්ලන්ට අදහසක් නෑ. හැබැයි මේ මොහොතේ තමන්ගේ ශ්‍රවණ ඉන්ද්‍රියට ගෝචර වෙන ඒ එක හඬක්වත් මෑණියන්ගේ භාවනාවට බාධාවක් නෙවෙයි. නුග ගහ යට බංකුවේ ඉඳගෙන ඉන්න මට කහ පාට ලන්තෑරුම් එළියෙන් ඒකාලෝක වුණු මෑණියන්ගෙ කුටිය පේනවා. මෑණියො භාවනාවට ඉඳගෙන දැන් සෑහෙන්න වෙලාවක් ගතවෙලා. භාවනා නොකළට ඒ දසුනම භාවනාවක් වගේ මගේ හිත නිවෙනවා.
දවල් තිස්සෙ මේ ආරණ්‍යයට එන යන මිනිස්සුන්ගෙ බලාපොරොත්තු සහ ප්‍රාර්ථනා ඉවසා වදාරණ බෝධින් වහන්සේත් හරියට රෑ ජාමෙ සමාධියකට සමවැදිලා වගේ. හමන මඳ හුළඟකටවත් බෝ පත් හෙලවෙන බවක් පේන්නෙ නෑ. හැන්දෑවෙ ඉර අඩපණ වීගෙන යද්දී, අඩපණ වූ පියවර තබමින් මේ බෝ හෙවණට ඇවිදගෙන ආපු උපාසක අම්මාව මට මතක් වුණා. අලුත බැඳපු දුවගෙ කුසට දරුවෙක් නාපු එක ගැන හිතේ එක්කාසු වෙච්ච බර හිස මත තියාගෙන ඇවිල්ලා සාමා මෑණියො ඉස්සරහා ඈ ඒ බර ටිකකට බිමින් තිබ්බා.
“දැන් අවුරුදු දෙකකට වැඩියි මෑණියෝ. ඉක්මනට දරු පැටියෙක් ලැබෙන්න කියලා ඔබතුමියට කියලා ආශීර්වාද බෝධි පූජාවක් තියාගන්නයි මේ ආවේ…”
දියණියගේ හිස් වෙච්ච උකුළ දිහා හිස් දෑසින් බලන ගමන් ඒ අම්මා, මෑණියන්ගෙන් ඉල්ලීමක් කළා. ඒත් ඒ බෝධි පූජාව පවත්වන එක ඛේමා මෑණියන්ට පැවරුවා මිසක් සාමා මෑණියෝ ඒ වෙනුවෙන් මැදිහත් වුණේ නෑ. සාමාන්‍යයෙන් බෝධි පූජාවක් තියන්න, ආශිර්වාද ගන්න මෑණියන්ව හොයාගෙන එන කෙනෙක්ව ඒ විදියට හරවලා යවන එක වෙන්නේ නැති දෙයක්. ඒ නිසා මට ඒ ගැන මෑණියන්ගෙන් අහන්න හිතුණා.
“ඔබවහන්සේ ඒ බෝධි පූජාව නොකළේ මොකක් හෝ විශේෂ හේතුවක් නිසා කියලා මට හිතෙනවා මෑණියෝ. නැත්නම් ඔබවහන්සේ ඒ වගේ දේකට අකමැති වෙන්නේ නෑනේ…”
“මට හිතට එකඟව ඒ ආශීර්වාදය කරන්න බෑ සකී. අනිත් එක මම පැවිදි වෙලා මේ ආරණ්‍යය ජීවිතේට ආවේ බෝධි පූජා තිය තියා දායක පිරිසක් නඩත්තු කරන්න නෙවෙයි. එක්කෙනෙකුට දෙන්නෙකුට එහෙම බෝධි පූජාවක් තියලා ආශීර්වාද කළාම ඒක කටින් කට යනවා. එතකොට තව අය එනවා. අන්තිමට මම ගිහි ජීවිතය අතහැරලා දාපු අරමුණ අමතක වෙනතුරුම බෝධි පූජා කර කර ඉන්නයි වෙන්නේ. පැවිදි ජීවිතේට ආවට පස්සේ දායක පිංවතුන්ගේ ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා විදියටත් මාර පාක්ෂික බලවේග අපිව හොයාගෙන එන්න පුළුවන්. අද බලන්න ඔය සමහර ප්‍රසිද්ධ මාධ්‍යවල ධර්ම දේශනා කරන, සමාජ මාධ්‍ය පාවිච්චි කරන ස්වාමීන්වහන්සේලාට ඒක නෙවෙයිද වෙලා තියෙන්නේ කියලා. උන්වහන්සේලා මුල් කාලෙ ඉතා හොඳින් පිළිවෙත් පුරනවා. ඒ වගේම විකෘති නොකර පිරිසිදු ධර්මයම දේශනා කරනවා. දායකයෝ ඒකට පැහැදිලා ප්‍රසිද්ධ මාධ්‍යවල බණට වඩම්මනවා. අන්තිමට උන්වහන්සේලාට මාධ්‍ය නාලිකාවල බණ කියනවට වඩා, දායක පිංවතුන්ගේ බණවලට වඩිනවාට වඩා දෙයක් කරන්න වෙලාවක් නෑ. ප්‍රසිද්ධිය කියන එක මම දකින්නේ මාර පාක්ෂික බලවේගයක් හැටියට සකී. ඒකයි ඔයා ඔය ලියන කියන දේවල්වල මං ඉන්න තැනක් සඳහන් කරන්න එපා කියලා මම නිතර කියන්නේ.”
ශාක්‍යා ඉද්දමල්ගොඩ (සකී)
සම්පුර්ණ ලිපිය කියවන්න ධරණී පුවත්පත බලන්න
