ගැමිකම අත් නොහළ ගැමි කෙල්ලක ලෙස එංගලන්තයේ ජීවත් වෙමි…
සමර්සෙට්හි කඳු පන්ති ගැනත්, ඒ කඳු අතරින් ගියපසු මුහුද හමුවන හැටි ගැනත් මා මීට පෙර ඔබට ලියා තිබේ. නොරටක වුව මේ කඳු පන්තිවලටත්, මේ පරිසරයටත් මා මෙතරම් බැඳෙන්නේ ඇයි දැයි කියා මා නොයෙක්වර සිතා ඇත. ඒ බොහෝ කලකට පෙර මා හැර දමා ආවා යැයි සිතූ මගේම ජීවිතයේ කොටස් මෙහි දී මට දකින්නටත්, අසන්නටත් ලැබීම නිසා යැයි සිතමි.
සමර්සෙට්හි මා ජීවත්වෙන ගමේ පුංචි පාරවල් දිගට ඇසෙන අශ්වයන්ගේ කුර ගැටෙන හඬ, නිවසට පහළින් ගලා යන දිය පාරේ පාත්තයන්ගේ හඬ, ගෙවත්තේ කුරුළු ලෑල්ලට එන කුරුල්ලන්ගේ කිචිබිචිය… මගේ ඇස්, කන් පසුකර ගොස් හදවතේ යම් තැනෙක නතර වෙයි. ඒ මා හදවතේ සියුම් තැනක මගේ යැයි නම් තබා සඟවා තැබූ දේවල්වල හඬයි.
ඒ නිසා අන් කවරදාටත් වඩා දැන් මා උපන් ගමේ අහස, පොළොව, වැව් දිය කඩිති, කුඹුරු සහ වැව් කණ්ඩියකට පහළ පිහිටා ඇති මගේ පුංචි ගෙදර වැඩි වාරයක් මගේ මතකයට නැගේ. ඒ ගෙදර මිදුල පුරා වැටි වැටි ඇවිද ගිය, කෙළිදෙලෙන් ගත කළ ඒ කුඩා දැරිය බවට අදත් මා පත්වේ. අද මා මේ ලිපිය ලියන්නට ලියන මේසයේ වාඩිවුණ මොහොතේ පටන් ඒ කුඩා දැරිය හදවත මත්තේ බර අඩි තබමින් ඇවිදින්නට පටන් ගෙන තිබේ.
මගේ උපන්ගම පිහිටා ඇත්තේ අනුරාධපුර නගරයේ සිට කිලෝමීටර පහළොවක් පමණ දුරිනි. රක්ෂිත වනාන්තර තුන හතරකින් වටවී ඇති මගේ ගම, නිලට නිලේ දිලෙන කෙත් යායවල්වලින් සහ ගිණිය නොහැකි තරමේ වැව් සහ කුඩා ගංගා, ඇළදොළවලින් සමන්විත කුඩා ගම්මානයකි. ජනකතාවල කියැවෙන දේ සත්‍යය නම් එය පණ්ඩුකාභය කුමරුගේ නෑසියන් ජීවත් වුණ ප්‍රදේශයක් වන අතර, කුඩා පණ්ඩුකාභය කුමරු කෙළිදෙලෙන් ගත කළා යැයි කියන බිමකි. ඒ ගමේ බහුතරයක් දෙනා ගොවියන්ය. මමද ගොවි දියණියක් වෙමි.
කුප්පි ලාම්පු එළියෙන් ජීවිතය කියවාගත්, ගොම මැටි ඇතිල්ලූ පොළොවේ නිරුවත් දෙපාවලින් ඇවිද ගිය, මැටි කලයෙන් දිය බී, පොල් අතු වහලයේ කුඩා හිල් අතරින් අහස බැලූ පුංචි ළදැරියක් මා තුළ තවම ජීවත් වේ. ඇය තවම හිතෙන් කූචි කුචයියෝ අල්ල උඩ තියා නටවමින්, වෙල් නියරවල් දිගේ ගොයම් කවි කියමින්, වැව් තාවුලු දිගේ නෙළුම් මල් මිටි අත පුරවාගෙන ඇවිදියි. දම්, පලු, පේර, බෝවිටියා ගස් පාමුල හිඳ ඒවා ඇහිඳියි. ගෙයක් හදන්නට කියා බාගයක් ගොඩනගා අහවර වූ ෆවුන්ඩේසම් පඩියකට වී පුරු පුරුවෙක් හුරතල් කරයි. වැටුණු කිරි දතක් වෙනුවට තව දතක් ඉල්ලා ලේනුන්ට හඬතලයි.
මගේ දෙමාපියන් ගොවියන් වූ නිසා ගොවිතැන හා සබැඳි හෙළ සංස්කෘතිය මගේ ජීවිතයේ ද කොටසකි. අම්මා, අප්පච්චී කුඹුරේ වැඩ අහවර කරන තුරු එහිම සෑදු කුඩා පැලකට වී පාසලෙන් පැවරූ ගෙදර වැඩ අවසන් කොට, අහල පහළ ගොවි දරුවන් සමග වැවේ ඔරු පදින්නට ගොස් නෙළුම් බූටෑවේ අතරමං වූ හැටි ගැන කිසිදා මගේ මතකයෙන් මැකී නොයේ.
