නවතම ප්‍රවෘත්ති

Cute Corner එකට වෙලා සැපට නිදන පුතේ….

මීට අවුරුදු දහස් ගණනකට කලින් ඊජිප්තුවේ පාරාවෝ කියලා රජ කෙනෙක් ජීවත් වුණා. බයිබලයේ සඳහන් වෙන විදියට නම් ඔහු, තම රාජ්‍යයේ හිටපු යුදෙව් ජාතිකයින් සමබන්ධව ඉතාම දැඩි පිළිවෙතක් අනුගමනය කරපු කෙනෙක්. පස්සෙන් පහුව යුදෙව්වන් බලවත් වන බව දැකලා බියට පත් වෙච්ච මේ රජතුමා, අලුත උපදින යුදෙව් ජාතික පිරිමි දරුවන් මරා දමන ලෙස නියෝගයකුත් නිකුත් කළා. ඔන්න ඔය කියන කාලයේදී තමයි දෙවියන් වහන්සේගේ නියෝජිතයෙකු වුණ මෝසෙස් ඊජිප්තුවේ ඉපදුණේ. හැබැයි බිලිඳු මෝසෙස්ටත් පාරාවෝගේ නියෝගයෙන් ගැලවීමක් තිබුණේ නෑ. ඔහුටත් ඒක ඒ විදියටම අදාළ වුණා. ඒ නිසා තමන්ගේ සිඟිති පුතාව බේරාගන්න ඔහුගේ අම්මා කළේ පැපිරස්වලින් කූඩයක් ගොතලා, පුංචි මෝසෙස්ව ඒ කූඩයේ බහා නයිල් ගඟේ පා කරපු එක.

 

අවසානයේ ඒ කූඩය ගිහින් නතර වුණා කියල කියන්නේ පාරාවෝගේ දියණිය දිය නාමින් හිටපු තොටුපොළේ. ඒ වෙලාවේ කූඩය තුළ හිටපු පුංචි මෝසෙස්ව දැකපු ඇය, ඔහුව තමන්ගේම පුතෙකු ලෙස ඇති දැඩි කරන්න තීරණය කළාලු. ඒ තීරණයත් එක්කයි මෝ‌‌‌සෙස්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස්වෙලා තියෙන්නේ. හැබැයි එදා පුංචි මෝසෙස්ගේ ගැලවුම්කාරය වුණ ඒ පුංචි කූඩයේ කතාව එතැනින් නතර වුණේ නෑ. කල්ගතවෙද්දී ඒ කූඩය ‘මෝසෙස් බාස්කට්’ නමින් ලෝකය පුරා ප්‍රසිද්ධ වුණා. ඉන් නොනැවතී අද වනවිට එය අලුත ඉපදෙන බිලිඳු දරුවන් නළවන ආදරණීය තොටිල්ලක් බවට පත්වෙලා තියෙනවා. අන්න ඒ ආදරණීය මෝසෙස් බාස්කට්වලට සිය දෑතින් පණ පොවන අපේ රටේ තරුණ ව්‍යවසායිකාවක් ගැන තමයි මේ කතාව.

 

ඇගේ නම නිමාලි අනුරාධා. කොළඹ, නුගේගොඩ පදිංචි 38 හැවිරිදි නිමාලි, අද වනවිට මෝ‌සෙස් බාස්කට් නිර්මාණයේ නියුතු තරුණ ව්‍යවසායිකාවක්.

 

“මම පාසලේ අට වසරේ ඉගෙන ගනිද්දී තමයි මගේ යාළුවෙක් මට මූලික ගෙතුම් ක්‍රමයක් කියලා දුන්නේ. ඒක ඉගෙනගෙන මට පුළුවන් විදිහට විවිධ අත්කම් නිර්මාණ කළා. හැබැයි ඒ කාලෙ ඒ හැමදේම කළේ විනෝදාංශයක් විදිහට විතරයි.”

 

ඇගේ ඒ අත්හදා බැලීම් අතර බෝනික්කන්ට ගවුම්, මල් ඇතුළු විවිධ අත්කම් නිර්මාණත් තිබුණා. එහෙම එක එක ගෙතුම් අත්හදා බලමින් හිටපු නිමාලිගේ අතින්, එක දවසක ගෙතුණු ලස්සනම ලස්සන හෙයාර් බෑන්ඩ් එකකුයි, පුංචි ගවුම් පොඩිත්තකුයි තමයි ඇගේ මේ ගමන වෙනස් කරලා තියෙන්නේ. ඒ හරියටම 2015 වසරේදී.

 

“එතකොට මම විවාහ වෙලා දුව ලැබෙන්න ඉන්න කාලෙ. ඒ වෙලාවේ මට හිතුණා මගේ දුවට මගේ අතින්ම හෙයාර් බෑන්ඩ් එකකුයි, ගවුමකුයි ගොතන්න. ඉතින් මම යූ ටියුබ් ටියුටෝරියල් බලාගෙන දුවට ලස්සන හෙයාර් බෑන්ඩ් එකකුයි, ගවුමකුයි ගෙතුවා. ඒක දැකලා මගේ සැමියා තමයි කිව්වේ, ‘මේක ව්‍යාපාරයක් විදිහට පටන් ගමු’ කියලා.”

 

ඒ ව්‍යාපාරය වෙනුවෙන් ඔවුන් මුල්ම වෙ‌ළෙඳපොළ විදියට තෝරාගෙන තිබුණේ මුහුණු පොත.

 

“මහත්තයගෙත් උදව් ඇතුව ඊටපස්සේ Cute Corner නමින් වෙනම පේජ් එකක් හදලා, ඒකට මම ගොතපු නිර්මාණවල ඡායාරූප, වීඩියෝ එකින් එක දාන්න පටන්ගත්තා. ඒ වෙලාවේ මගේ ඒ  නිර්මාණ දැකලා අපේ නැදෑ හිතවතුන් කිහිපදෙනෙක් මගෙන් එක එක නිර්මාණ ඇණවුම් කළා.”

 

ඒ ඇණවුම් අතර වැඩිපුරම තිබුණා කියන්නේ බේබි සපත්තු, බේබි තොප්පි, හෙයාර් බෑන්ඩ්, බේබි ගවුම් සහ බේබි බ්ලැන්කට් වගේ නිර්මාණ. හැබැයි ඒ අතරින් බේබි සපත්තු ගොතන විදිහ නිමාලි දැනගෙන ඉදලා තිබුණේ නැහැ.

 

“ඒ නිසා බේබි ෂූස් ගොතන විදිහ මම යූටියුබ් වීඩියෝ බලලා ඉගෙනගත්තා. ඒක හරියටම කරන්න පුළුවන් වෙනතුරු මම සිය පාරක් විතර අත්හදා බැලුවා. අන්තිමට කොහොමහරි ලස්සනට බේබි ෂූස් ගොතන්න මට පුළුවන් වුණා.”

 

අන්තිමට ඒ විදියට අමාරුවෙන් උපයා සපයාගත් දැනුම නිමාලි තමන් සන්තකයේ විතරක් තියාගත්තේ නෑ. ඇය ඒ දැනුම තවත් අයට බෙදා දෙන්න පුළුවන් මාවතකුත් නිර්මාණය කළා.

 

“ඒ වෙනුවෙන් මම ගෙදරම ගෙතුම් කලාව සම්බන්ධයෙන් පන්ති පැවැත්වුවා. ඒ පන්තිවලට වයස් භේදයක් නැතුව ගොඩක් දෙනෙක් සහභාගි වුණා. පුංචි ළමයි පවා මගෙන් ගෙතුම් ඉගෙනගන්න එනවා. මෑතකදීත් පුංචි දරුවෙක් එයාගේ අම්මා එක්ක මාව හමුවෙන්න ආවා. ඒ දරුවාට මේ වගේ දෑතේ දෙයක් ඉගෙනගන්න අවස්ථාව උදා කරලා දුන්නට මම ඒ අම්මාට  ස්තූති කළා. මේ වගේ තාක්ෂණික ලෝකයක, අතේ පයේ වැඩවලට පුංචි දරුවෝ පෙළඹෙන එක ගැන ඇත්තටම හරිම සතුටුයි.”

 

ඒ අතරතුරේ තවත් නිර්මාණයක් වෙත නිමාලිගේ හිත ඇදිලා ගිහින්. ඒ තමයි අලුත උපන් බිලිඳුන් වෙනුවෙන් නිර්මාණය කරන මෝ‌සෙස් බාස්කට් එක.

 

“මම මුලින්ම මෝසෙස් බාස්කට් එක ගැන දැනගත්තේ අන්තර්ජාලයෙන්. ඒක දැක්කම මට හිතුණා මේ වගේ ලස්සන දෙයක් මටත් ගොතන්න පුළුවන් නම් හොඳයි කියලා. ඒ නිසා ඒ ගැන හොයලා බලලා, අවශ්‍ය දේවල් ඉගෙනගෙන මම මගේ පළමු මෝසෙස් බාස්කට් එක නිර්මාණය කළා.”

 

ඒත් එක්කම නිමාලිගේ දෑතින් ගෙතුණ එම මෝසෙස් බාස්කට්වලට ලංකාවේ සතර දෙසින් ඇණවුම් ගලාගෙන ආවාලු.

 

“මෝසෙස් බාස්කට්වලට ඕනෑ කරන ටී ෂර්ට් යාන් රෙදිවල සමහර පාට වර්ග ලංකාවේ තිබුණේ නැහැ. ඒක නිසා සමහර වෙලාවට ඒවා හොයාගන්න නැතුව අපහසුතාවයට පත්වුණ අවස්ථා තියෙනවා. එහෙම වුණාම එකදිගට ගොඩනඟාගෙන ආපු ව්‍යාපාරය නොහිතන විදියට කඩාගෙන වැටෙනවා. ව්‍යාපාරයක් කරද්දි ඒ වගේ දේවල් සාමාන්‍යයෙන් සිද්ධ වෙනවා. එහෙම වෙලාවට වැදගත්ම දේ අත්නොහැර දිගින් දිගටම උත්සහ කරන එකයි.”

 

ඒ නොසැලෙන ගුණය නිසාම වසර දෙක තුනක් ඇතුළත සාර්ථක ව්‍යවසායිකාවක් බවට පත්වෙන්න නිමාලිට පුළුවන් වෙලා.

 

“මගේ ගමනේ නිහඬ වීරයා මගේ සැමියා. හැම වෙලාවකම ඔහු අලුත් අදහස් මට යෝජනා කරනවා. ඒ වගේම තමයි පසුගිය අවුරුද්දේ මමයි, සැමියයි, ගඟසිරිපුර ධම්මාලෝක හාමුදුරුවන්ගේ ව්‍යවසායකයින් වෙනුවෙන් පැවැත්වුණු වැඩමුළුවකට සම්බන්ධ වුණා. එතැනදී ඔන්ලයින් ක්‍රමයට පවත්වාගෙන යන ව්‍යාපාරයකට වැදගත් වෙන පුංචි පුංචි දේවල් ගැන පවා උන්වහන්සේ අපිට කියලා දුන්නා. ඒකත් අපේ සාර්ථකත්වයට ලොකු ආශිර්වාදයක් වුණා.”

 

ව්‍යාපාරය දිනෙන් දින දියුණු වෙනකොට ඒ ආදායම තවත් ආයෝජන මාර්ගවලට යොමු කරපු එක තමයි නිමාලි කරපු නුවණක්කාරම වැඩේ.

 

“මම ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම තවත් දෙයකට ආයෝජනය කළා. ඒ  නිසා ලැබෙන ආදායමෙන් මේ වෙද්දී  අමතර ස්ටොක් එකක් පවත්වාගෙන යනවා. ඊට අමතරව ගෙතුම් වැඩවලට අවශ්‍ය මැෂින් වර්ග ගෙනැල්ලා අලෙවි කරන්න පටන් ගත්තා.”

 

මේ සියලු වැඩ කටයුතු නොපිරිහෙලා කරන්න නිමාලිට අතහිත දෙන අය අතර ඇගේ සැමියා, දුව හා පුතා විශේෂයි.

 

“ඒ වගේම එෂානි නංගිත්, නිරෝෂා අක්කාත් මගේ ගමනට ලොකු අත්වැලක් වුණා. මට ලොකු ශක්තියක් වුණා. ඒ අයගේ සහයෝගයත්, මට මේ ව්‍යාපාරය සාර්ථක කරගන්න ලොකු රුකුලක් වුණා. එහෙම රුකුලක් ලැබුණත් නැතත්, මම හිතන්නේ ඕනෑම කෙනෙක්ට තමන් කැමති දෙයක් හරියට ඉගෙනගෙන, කැපවීමෙන් කළොත් ඒකෙන් ඉදිරියට යන්න පුළුවන්. මුලදී ලොකු ප්‍රතිඵල නොලැබෙන්න පුළුවන්. හැබැයි අතහරින්නේ නැතුව උත්සාහ කළොත් දවසක ඒ පුංචි ආරම්භයම ලොකු ගමනක් බවට පත්වෙනවා.”

 

නෙත්මි තෂාරා