නවතම ප්‍රවෘත්ති

“කලින් නොපෙනුණු පොඩි අකුරු දැන් හොඳටම පේනවා…” අරුම පුදුම ඇස් වෙදකම

පසුගිය දිනයෙක මගේ හිතවතකු මට වීඩියෝ පටයක් එවා තිබිණ. එහි තිබුණේ අරුම පුදුම ඇස් වෙදකමක් පිළිබඳවය. වියළි කලාපයට අයත් පිටිසර ගැමි නිවෙසක් සේ හැඟෙන එම වෙදගෙදර ඉස්තෝප්පුවේ කාන්තාවන් පස් හය දෙනකුගෙන් යුත් පිරිසක් හිඳිනු දක්නා ලදී. එහි රෝගී තත්ත්වයෙන් පසුවන බව පෙනුණේ වසර විසිපහක පමණ තරුණියකි. වෙදැදුරා ද එමෙන් දෙගුණයක පමණ වයසකින් යුතු අයකු බව පෙනිණ. ඔහු  තම ගෙල බැඳි සුර දෙක තුන පෙනෙන සේ උඩුකය නිරාවරණය කොට සිටීමෙන් ඔහු තම ‘ගැමිකම’ විශේෂයෙන් හුවා දක්වන බවක් මට එය දුටුමනින්ම වැටහිණ. එමෙන්ම ඔහුගේ දත් දෙපෙළ රත් පැහැ ගැන්වී තිබීමෙන් ඔහු බුලත්විට සපන්නකු බව ද පෙනෙන්නට තිබිණි.

 

“කොච්චර කාලෙක ඉඳන්ද ඔය?”, ඔහු තම මුව තුළ වූ බුලත් විට එහා මෙහා කරගනිමින් අපැහැදිලි ස්වරයෙන් ඇසීය.

 

“දැන් අවුරුදු දෙක තුනක් වෙනවා”, එම තරුණිය වෙනුවට පිළිතුරු දුන්නේ ඇය අසල සිටි මැදිවියේ ගැමි කාන්තාවකි.

 

“එක පාරටමද ? නැත්නම් ටිකෙන් ටිකද ?” ඔහු යළි ඇසීය.

 

“ටිකෙන් ටික තමයි තිබුණේ. හැබැයි දැන් මාස තුන හතරක ඉඳලා එක පාරටම වැඩි වුණා”, වැඩිහිටි කාන්තාව පිළිතුරු දුන්නාය.

 

“හොඳයි, එහෙම නම් මෙන්න මේ කොටස කියවමු බලන්න”, අනතුරුව එම වෙදැදුරා ඉස්තෝප්පුවේ කනප්පුවක් මත තිබූ පුවත්පතක් ගෙනහැර දක්වමින් කීය.

 

“ලොකු අකුරු කියවන්න පුළුවන්. ඒත් පොඩි අකුරු කියවන්න බෑ”, එම තරුණිය ඇසෙන නෑසෙන හඬින් තොල් මතුළාය.

 

“එහෙම නම් ඒක තමයි ප්‍රශ්නේ; හොඳයි දැන් මෙන්න මෙතනින් වාඩි වෙමු”, ඊට ප්‍රතිචාර වශයෙන් එම වෙදැදුරා, ඒ තරුණියට පවසා සිටියේ ආලින්දයේ වූ පුටුවක් දක්වමිනි. ඒ අනුව ඇය එහි වාඩි වූ සැණින් “හෙනං දැන් ඔය කෙහෙවල්ල උනා දානවා හොඳයි” යැයි පවසත්ම, එම තරුණිය ද ඊට අවනතව සිය වරලස මුදාහැරියාය. අනතුරුව එම වෙදැදුරා නිවස තුළින් ගෙනවුත් අමුතු හැඩයක බෝතලයකින් බින්දු කිහිපයක් ඇගේ හිස මතට හලා තදින් සම්බාහනය කරනු එම වීඩියෝවෙන් දක්නට ලැබිණ.

 

“දැන් බලමු කලින් නොපෙනුණු පොඩි අකුරු පේනවද කියලා”, ඔහු කීයේ කලින් එම තරුණිය අතට පත්කළ පුවත්පත යළි ඇගේ අතට දෙමිනි.

 

“දැන් නම් පේනවා; හොඳටම පේනවා”, ඇය කීයේ ඉමහත් සතුටකිනි.

 

“ඒ කියන්නේ දැන් ඔය අකුරුත් කියවන්න පුළුවන්”, එම වෙදැදුරා අසත්ම එම තරුණියද “පුළුවන්, හොඳටම පුළුවන්”, යැයි කියනු ද අපට ඉතා හොඳින් අසා දැකගත හැකි විය.

 

ඉහත සඳහන් වීඩියෝව ටෙලි නාට්‍යයක කොටසක් නොවූ අතර, එහි අවසානයේ දැක්වුණු ජංගම දුරකථන අංකය ද භාවිතයේ නොමැති විය. ඒ අනුව එය කල් ඉකුත් වූ ජාවාරමක් බව මගේ අනුමානය විය. කෙසේ වෙතත්, එවැනි කූට ජාවාරම් සහ මුළු ලොවෙහි වත් නොමැති අක්ෂි ප්‍රතිකාර ක්‍රම පිළිබඳව යම් සටහනක් තැබීම කාලීන අවශ්‍යතාවක් බව හැඟිනි.

 

යම් පුද්ගලයකුගේ ඇස් පෙනීම අඩුවීමට ඇසේ සුද, ග්ලෝකෝමා, අක්ෂි පරිහානිය, දියවැඩියාව නිසා දෘෂ්ටි විතානයට සිදුවන හානි, දෘෂ්ටි ස්නායු ආබාධ මෙන්ම වර්තන දෝෂ සහ වයස්ගත වීම වැනි කායික හේතු බලපායි. මෙවැනි තත්ත්වයන් සඳහා විධිමත් වෛද්‍ය පරීක්ෂණ හා ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යවශ්‍ය වන අතර, ග්ලෝකෝමා වැනි රෝග මුල් අවධියේදී නොපෙනී යාම නිසා ප්‍රතිකාර ප්‍රමාද වීමෙන් ස්ථිර දෘෂ්ටි හානියක් සිදුවිය හැකිය. එබැවින් පෙනීම අඩුවීමක් හෝ හදිසි වෙනස්කමක් සිදු වුවහොත් එය කෙසේවත් නොසලකා හැරිය යුතු නොවේ.

තිලක් සේනාසිංහ

සම්පුර්ණ ලිපිය කියවන්න ධරණී පුවත්පත බලන්න