මං ගැන හොඳ නරක දෙකම කියනවා හැබැයි ඒ කිසිම තැනක මං දරුවෙකුට වරදක් කළ බවක් කියවිලා නෑ මහාචාර්ය වාසනා මෛත්‍රී හේරත්
විශ්වවිද්‍යාලයක ඉගැන්වීම් කරන විවිධ වූත්, පිළිවෙළ වූත් අලංකාර විලාසිතාවන්ගෙන් සැරසුණු සුරූපී ආචාර්යවරියකි. සමාජ මාධ්‍යයේ පළවූ ඇගේ ඡායාරූප පෙළක් එක්වරම ඇස ගැටෙද්දී සිතුණේ ඒවා යුරෝපීය විශ්වවිද්‍යාල දසුන් බවයි. නැවත වරක් දකිද්දී කිසියම් නාට්‍ය හෝ චිත්‍රපට රූගත කිරීමක් බව හැඟිණ. මක්නිසාදයත්, අපේ විශ්වවිද්‍යාල පද්ධතියේ දී එවැන්නක් ඇස ගැටේයැයි නොසිතෙන බැවිනි. එහෙත් නැවත නැවත ඒ රූ දකිද්දී වඩා හොඳින් ඊට අවධානය දුනිමි.
ඒ විදෙස් විශ්වවිද්‍යාලයක් නොවේ. ඈ නිළියක ද නොවන්නීය. ඇය ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ඉගැන්වීම් කරන මහාචාර්ය වාසනා මෛත්‍රී හේරත්ය. ඇය ජනප්‍රිය වූයේ අද ඊයේ නොවේ. අඩු වයසින් මහාචාර්යවරියක වීම සේම, ඇගේ පෞරුෂය හේතුවෙන්ම ඈ විශ්වවිද්‍යාල පද්ධතියෙහි කැපී පෙනෙන්නීය. එනිසාම ඈ ගැන නැවත කතා කිරීමට විවිධ පාර්ශ්ව පෙළඹී ඇත. කිසිසේත් ආදර්ශයට නොගත යුතු දේ විදුලි වේගයෙන් සමාජයේ පැතිර යද්දී මහාචාර්ය වාසනා වැනි අය ගැන කතා කිරීම ගල් අතරින් මිණි මතුවනවා වැනිය. දුර්ලභ වුවද ඒ කතා වටී. මීට පෙරද ඈ ගැන කතා කර තිබියදී වුව, ‘ධරණී’ නැවත ඈ පිළිබඳ ලියන්නට සිතුවේම ඒ වටිනාකම හේතුවෙනි.
සාමාන්‍ය පෙළ, උසස් පෙළ ඉතා ඉහළින් සමත් වූ වාසනා මෛත්‍රී, දෙමාපිය ආදරය මැද හුරතලයට හැදී වැඩුණු අහිංසක දැරියකි. ගැහැනු දරුවන් තිදෙනෙකු සහ පිරිමි දරුවකුගේ පවුලේ ඇය දෙවැන්නියයි. ඈ පළමුවරට බදුල්ලේ සිය නිවසින් පිටතට ගියේ කැලණිය විශ්වවිද්‍යාලය වෙතයි. එහිදී ඇයට පළමුව අත්විඳින්නට වූයේ නවක වදයයි. ජීවිතයේ කිසිදා මවගෙන්, පියාගෙන්වත් බැණුමක් අසා නැති වාසනාට ඊට මුහුණදීම ඉතා අසීරු විය. හිත හදාගෙන නව ජීවිතයට හැඩ ගැසෙන්නට කොතෙක් උත්සාහ දැරුවද එය ඉතාම දුෂ්කර විය. අසභ්‍ය වචනයෙන් බැන වදිද්දී, නින්දා අපහාස විඳින්නට වෙද්දී සරසවි සිහිනය පසෙකලූ ඈ යළි බදුල්ලේ නිවසට ගියාය.
වාසනා මෛත්‍රී සරසවියට ආවේ උසස් පෙළින් ඌව පළාතේ දෙවෙනියා ලෙසිනි. එනිසා තමන් සරසවිය අතහැර යාම නුසුදුසු බව ඇයට දැනෙන්නට විය. තමාගේ මෙන්ම දෙමාපියන්ගේ සිහින ද බොඳ වීමට ඉඩ නොදිය යුතු බවට අදිටන් කරගත් වාසනා, සිතට දිරි ගෙන නැවත කැලණියට ආවාය. ඇගේ දෙමාපියෝ තම දරුවන්ට ඉගෙනීමේ වටිනාකම සැමදා අවධාරණය කළෝය. එනිසා දෙවන ඇරඹුම වඩා ශක්තිමත් කරගත් වාසනා, විශ්වවිද්‍යාලයේ දී ඉහළ ප්‍රතිඵල ලැබුවාය. එය තවත් අර්බුදවලට මග පෑදීය. ඉහළට යන අයට මෙරටදී අසන්නට වන අටෝරාසියක් සාම්ප්‍රදායික අවලාදවලට ඇය ද මුහුණ දුන්නාය. ගැහැනු දරුවකු වීම ඈ වෙත එල්ල වන චෝදනා තවත් තීව්ර කළේය. අනෙක් අතට දක්ෂතාව සමග රූපය ද එක්ව තිබීම නිසාදෝ ඇය බොහෝ අභූත චෝදනාවන්ට නිතර ගොදුරු වූවාය. කෙතරම් උසස් ප්‍රතිඵල ලැබුව ද ඊළඟ වසර වෙද්දී නැවත හැරී යාමට සිතෙන තරම් කලකිරීමක් ඇගේ සිතේ ජනිත කිරීමට තරම් ඒවා ප්‍රබල විය.
“ස්පෙෂල් එකට මාව තේරුණාම ප්‍රශ්න තව වැඩිවුණා. එතකොට මේ මොන එකක්ද කියලා හිතලා මං දෙවෙනි වතාවටත් කැම්පස් එක දාලා ගෙදර ගියා. ඒ වෙද්දි අපේ බැච් එකේ වැඩිම ලකුණු තිබුණෙ මට. මං හැමෝම එක්ක හිනාවෙලා කතා කරන කෙනෙක්. හැබැයි මට කියන කතා අහගෙන ඉන්න බැරි නිසා ආයෙ ගෙදර ගියා.”
දෙවෙනි හැරයාමේදී ඇයට නිවැසියන්ගෙන් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් පවා අවවාද ලැබිණ. ඊට ප්‍රධාන හේතුව ඇගේ ඉහළ ප්රතිඵලයි. ඒ අනුව නැවත හිත ශක්තිමත් කරගත් වාසනා සිය තෙවන ආරම්භය ලබා ගත්තේ පළමු පෙළ සාමාර්ථයක් ලබා ආචාර්ය මණ්ඩලයට ද ඇතුළත් වන බවට තිර අදිටනෙනි. ඒ වෙද්දී සරසවියට ආවේ අහිංසක ගැමි තරුණිය වෙනුවට තලන්න තලන්න මුවහත් වන වානේ මෙන් පන්නරය ලැබූ ශක්තිමත් තරුණියකි. ඈ, සිය ඉලක්කය ජය ගනු වස් දැඩි සේ වෙහෙස වූවාය. ඇය සිය පූර්ණ අවධානය දුන්නේ අධ්‍යාපන කටයුතු වෙතයි. වාසනා බාහිර කිසිවකට නොගිය තරම්ය.
වාසනා මෛත්‍රී යනු ජීවිතයේ ඉලක්ක ඇති සැලසුම්සහගත තරුණියකි. අහිංසක වූවාට ඇය තමාගේ ජීවිතයට අඩිතාලම දමන හැටි දැන සිටියාය. ඈ තමන්ට ආදායම් උත්පාදනය කළේ උසස් පෙළ හමාර කළ දා සිටමය. ඈ නර්තනයට දක්ෂය. ඇගේ මව ද නර්තන ගුරුවරියකි. වාසනා විවිධ නර්තන ශෛලීන් හැදෑරුවාය. උඩරට, පහතරට, භරත, බටහිර විවිධ ශෛලින් සඳහා ඈ පෞද්ගලික පන්ති ආරම්භ කළේ උසස් පෙළින් පසුවයි. ඒ අතර ඇය බැංකු රැකියා අත්දැකීම් ද ලබා ගත්තාය. එමෙන්ම තවත් විවිධ ව්‍යාපාර අදහස්වලින් ඈ පොහොසත්ය. එනිසා ඈ විවිධ ආදායම් මාර්ග තමා වෙනුවෙන් විවර කරගෙන තිබිණ.
ගැහැනු දරුවකු ලෙස ස්වාධීන විය යුතු බව ඇගේ සිතේ සැමදා තිබිණ. සරසවියේ අඩන්තේට්ටම් හමුවේ එය හැරදා යාමට තරම් නිර්භීත වන්නට ඇගේ ආර්ථික ශක්තිය ද හේතු වූ බවට සැක නැත. කොළඹට පැමිණීමෙන් පසු තමාගේ නැටුම් පන්ති නැවැත්වූ වාසනා, තවදුරටත් නර්තනය හැදෑරුවාය. ඊට අමතරව ඉංග්‍රීසි භාෂා දැනුම වර්ධනය කරගත්තාය. විශ්වවිද්‍යාල කටයුතු අවසන් වෙද්දීම පාහේ ඇය බාහිර උපාධි සඳහා ඉගැන්වීමේ සම්පත් දායිකාවක ද වී සිටියාය. ඇගේ කාලයෙන් විනාඩියක්වත් නිකරුණේ ගෙවී නොයාම විශේෂත්වයකි.
වාසනා විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කළේ පළමු පෙළ සාමාර්ථයක් සමග සිය කණ්ඩායමේ පළමුවෙනියා වෙමින් අධ්‍යයන කාර්ය මණ්ඩලයට එක්වීමේ සුදුසුකම් ද සපුරාලමිනි. ටික කලකට පසු ඈ රජරට විශ්වවිද්‍යාලයේ සේවයට එක්වූවාය. එහිදීත් ඈ සිය කාලය උපරිමව භාවිත කරමින් තමන්ව ඉහළට ඔසවා තැබීමේ ක්‍රියාවලියේ අඛණ්ඩව නියැලුණාය. ඒ අතරතුර ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය ආරම්භ වුව ද ඇය විසින් උගන්වනු ලබන මාධ්‍ය විෂය එහි තිබුණේ නැත. ඒ වෙනුවට තිබුණේ සන්නිවේදන කුසලතා විෂයයි. ඇයට සිය උපන් නගරයට පැමිණීමේ දැඩි අවශ්‍යතාවක් තිබිණ. ඒ ඇගේ මව නිවසේ හුදෙකලාව සිටි බැවිනි. පියා ජීවිතය හැරදා ගොසිනි. වැඩිමහල් සහෝදරිය කොළඹය. නැගණිය ඇමෙරිකාවේයි. සොයුරා ව්‍යාපාර කටයුතුවලය. අවසානයේ ඇය ඌවට ආවේ සන්නිවේදන කුසලතා විෂය වෙනුවෙනි.
“එතනින් තමයි මං වෘත්තීය ජීවිතය හදාගත්තෙ. හැබැයි ඒ මොන දේ කළත් මට හිතෙනවා මීට වඩා දෙයක් කරන්න ඕනෙ කියලා. මං හැම පැත්තෙන්ම හැකියාව හදාගන්නවා. ගෑනු ළමයෙක් විදියට ගත්තම මට ඕන කෑමක් හොඳට උයන්න පුළුවන්; මහන්න පුළුවන්. ඒ වගේම මල් වවලා ගේ දොර, වතු පිටි ලස්සනට තියාගන්නවා. මං සාම්ප්‍රදායික කාන්තාවටත් ආදරෙයි. මොකද ඒක ඇතුළෙත් ලස්සනක් තියෙනවා. මමත් හරි මෘදු කෙනෙක්. මං රණ්ඩුවට නොයන, හයියෙන් කතා නොකරන, සාමකාමී කෙනෙක්. හැබැයි මං හරිම ආසයි මං කියන කෙනාව ටෙස්ට් කරලා බලන්න. ඉතින් ඒ ඒ කාලවල මගේ හැකියාව සමග මට හිතුණු විවිධ දේ කළා. මොකද ව්‍යවසායකත්වය කියන දේ මගෙ ඇඟේ තිබුණා.”
සාම්ප්‍රදායික මහාචාර්යවරියක යන රාමුවෙන් ඔබ්බට ගිය වාසනා මෛත්‍රී, විවිධ අත්හදා බැලීම් කළේ තම හැකියාව ඔප් නංවමිනි. ආහාර පාන අලෙවිය, ඇඳුම් අලෙවිය ආදී විවිධ දේ ඊට අන්තර්ගත විය. ඒ සියල්ල ඈ කළේ විශේෂ හැදෑරීමක් ඇතිවයි. උදාහරණයක් ලෙස ඇඳුම් අලෙවිසලක් ඇය ආරම්භ කළේ විලාසිතා පිළිබඳ මනාව අධ්‍යයනය කරමිනි. ඉන් ඇය ඉහළ ආදායමක් ද ලැබුවාය. කෙසේ වුව ද ඇගේ ජීවිතයේ ගලායාම ද හැමවිටම සුමටව වූයේ නැත. පෞද්ගලික කරුණු කිහිපයක් මත සහ ආචාර්ය උපාධියේ කටයුතු සඳහා වේලාව වෙන්කර ගැනීම වෙනුවෙන් ඇඳුම් අලෙවිසල අත්හැරීමට ඇයට සිදුවිය. එහෙත් රිසි වූ සෑම දේ අත්හදා බැලීමේත්, ඕනෑම වේලාවක අලුත් දෙයක් නැවුම්ව ඇරඹීමේත් හැකියාව ඇයට තිබිණ.
ආචාර්ය උපාධිය සම්පූර්ණ කර, කථිකාචාර්යවරියක ලෙස ද ක්‍රමයෙන් ඉහළට යමින් මහාචාර්ය වාසනා සිය වෘත්තීය ජීවිතය වඩා දීප්තිමත් කර ගත්තේ ජීවිතය සුන්දරව විඳිමිනි. ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත යන්න ඈ ජීවිතය පුරා බිඳ දැමුවාය. ඈ සෑම විටම, සෑම අතින්ම තමා ඉහළට ඔසවා තැබූ චරිතයකි. අඳින පලඳින විදියට පවා ඈ නිසි ගෞරවය තබන්නීය.
“මුල් කාලේ මගෙ ඇඳුම් ඩිසයින් කළේ මම. මැහුවෙ පවා මං. දැන් මට ඩිසයිනර් කෙනෙක් වෙනම ඉන්නවා. මගේ රූපලාවණ්‍ය කටයුතුවලට වෙනම කෙනෙක් ඉන්නවා. මගේ කටයුතුවලට මට ටීම් එකක් ඉන්නවා. ඒ සියල්ල මං උපයාගත් දේවල්. ඒ වගේම මගේ වෘත්තිය මං හරියටම කරනවා. විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුළෙ මං දැන් අවුරුදු විස්සක්. ඒ කාලය ඇතුළත මං කිසිම ළමයෙකුට පොඩිම හරි වරදක්, කූහකකමක්, ඉරිසියාවක් කරලා නෑ. තල්ලු කරලවත් ඉස්සරහට යවන්න බැරි වෙලාවක ෆේල් වුණොත් මිසක් මං කිසිම හේතුවකට ළමයි රිපීට් කරලා නෑ. ෆේවරේෂන් කරලා නෑ. මං ගැන පහුගිය කාලේ හොඳ නරක දෙකම කට්ටිය කිව්වනෙ. හැබැයි ඒ කිසිම තැනක මං දරුවෙකුට වරදක් කළ බවක් කියවිලා නෑ. මේ අවුරුදු විස්සෙදි මට පුළුවන් දේ මං ළමයින්ට ඉගැන්නුවා විතරයි. ඒ හැම තැනදිම එයාලගේ ආකල්ප වෙනස් කරන්න උත්සාහ කළා. මං රැග්වලට එහෙම කැමති නෑ. මට හැම වෙලේම ළමයින්ට කියන්න ඕන වුණේ අපේ ජීවිතේ මේ ඉන්න ටික නාස්ති නොකර මොනව හරි දෙයක් කරමු කියන එක. ඒක පසුවට ආයෝජනයක් වෙයි කියලා මං ඔවුන්ට පෙන්වා දුන්නා. මං අපේ යුනිවර්සිටි එකේ කරියර් ගයිඩ්න්ස් ඩිරෙක්ටර් විදියට අවුරුදු හතක් හිටියා. එතනදි ලංකාවේ ගොඩක් කම්පැනීස් එක්ක මං වැඩ කළා. මං පාසල් දරුවන්ට කතා කළා. විශේෂයෙන් ගෑනු ළමයින්ට කතා කළා. මං යන හැම තැනකම වගේ මගේ ගෝලයෙක් ඉන්නවා දැන්.”
ඉහළ තැන්වල සිටින සිය ගෝලයින් පැසසුම් ලබන අතරේ මහාචාර්ය වාසනා තවමත් දන්නා සියල්ල ඉදිරි පරපුර සමග බෙදා ගනිමින් සිටින්නීය. ඉදිරියට යාමට දරුවන්ට ඇති අවස්ථා ඇය නොපැකිලව පෙන්වා දෙයි. එමෙන්ම කාලයක සිට දරුවන්ගේ ඉංග්‍රීසි දැනුම ප්‍රවර්ධනයට ද මහාචාර්ය වාසනා දැඩි අවධානයක් දෙයි. ඒ, ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා එහි ඇති වැදගත්කම නිසාමය. ඇතැම්විට දරුවන් විශ්වවිද්‍යාලය හැර යන්නේ ඉංග්‍රීසි බාධාව නිසාය. එය වළකා ගැනීමට සහයක් ලෙස මහාචාර්ය වාසනා ඉංග්‍රීසි උගන්වයි. උපකාරක පන්ති සඳහා ද ඇය තමාට අනන්‍ය විලාසිතා භාවිත කරන්නීය. විශ්වවිද්‍යාලය සඳහා ඇය විලාසිතා භාවිත කරන්නේ ඊට උචිත පරිදිය. එහි ගෞරවය රැකෙන පරිදි සහ ආකර්ෂණීය ලෙස ඇය සැරසෙයි. එමෙන්ම ඇය කිසිදු අවස්ථාවක සිය සිරුර ප්‍රදර්ශනය කර ආකර්ෂණය ලබා ගන්නේ නැත. එහි ඇත්තේ කාර්යය නිසි පරිදි කිරීම, දැනුම, හැදියාව සහ පිළිවෙළයි. විශේෂත්වය වන්නේ විශ්වවිද්‍යාලයේදී ඇය සිසුන් හාර පන්සියයකට මයික්රෆෝනයක් පවා නොමැතිව ඇමතීමයි. රාජකාරිය නිසි ලෙසම කරනවා යන්නට හොඳම උදාහරණය එයයි.
“මං දරුවන්ට කියන්නෙ කෙනෙකුට හයිලයිට් වෙන්න, ආකර්ෂණය දිනාගන්න අඟ පසඟ පෙන්නන්න ඕනෙ නෑ කියලා. ඒ වගේම ලෙක්චරස්ලා විදියට අලුතින් එන අයට සමහර විශ්වවිද්‍යාලවල සීනියර්ස්ලා ලස්සනට අඳින්න දෙන්නෙ නෑ. විලාසිතා කරන්න දෙන්නෑ. මට තේරෙන්නෑ ඒ ඇයි කියලා. මේක විශ්වවිද්‍යාලවල විතරක් වෙන දේකුත් නෙමේ. තමන් කැමති විදියට විලාසිතාවක් කළා කියලා සමාජයට වරදක් වෙනවා කියලා මං හිතන්නෙ නෑ. මිනිස්සු ලස්සනට, පිළිවෙළට අඳින්න ඕනෙ. කාලෙන් කාලෙට අපි වෙනස් වෙනවනෙ. ගල් යුගයේ ඇඳපු විදියට නෙමේ ඊට පස්සෙ. කොළ අතුත් ඇඳපු කාලයක් තිබුණා. ඊට පස්සෙනෙ රෙදි අඳින්න ගත්තෙ. ඒවත් වෙනස් වෙනවනෙ. වෙනස් නොවෙන දෙයක් ලෝකෙ නෑනෙ. ඒවා අල්ලගෙන හිර කරගෙන හිටියා කියලා අපට ලැබෙන දේකුත් නෑනෙ. විලාසිතාවක් කරන එක වැරදියි කියලා අලුත් ළමයින්ම කියන එක නුසුදුසුයි. සාරියෙ ඉඳලා ඇද කියනවා. ඒ විදියෙ විවේචන කරන්නෙ ගෑනු අය විතරක් නෙමේ. පිරිමි අයත් ඉන්නවා. අලුත් ළමයි මා එක්ක සෑහෙන්න කියනවා ඇඳුම නිසා එයාලට හිංසා වෙන විදිය ගැන. මං කාලයක් තිස්සෙ උගන්නන්නෙ සන්නිවේදනය. ඉතින් මං හැමදාම අනිත් කට්ටිය කරන දේම ගෙනල්ලා මෙතන කරන්න ඕනෙද? අලුත් සන්නිවේදනය කියලා දෙන්න ඕනෙද? මගේ අනිත් විෂය තමා ඊස්තටික්. ඒ දෙකටම අදාළ ප්‍රැක්ටිකල් එක්සාම්පල් එකක් විදියට මං එයාලා අතරට යනවා. මං කවදාවත් මගෙ ලෙක්චර් එකේදි ළමයින්ට ෆෝන් ඕෆ් කරන්න කියලා නෑ. මට පුළුවන් වෙන්න ඕනෙ කන්ට්‍රෝල් එක තියාගන්න. ඒ වගේම දන්න කිසිම දෙයක් මං හංගගෙන ඉන්නෙත් නෑ. මං හැම වෙලේම කියන දේ තමයි ඔයා නීතියෙන් බැඳිලා ඉන්නවා. හැබැයි ඒ ෆ්‍රේම් එක ඇතුළෙත් ඔයා නිදහස්. ඒක ඇතුළෙ ඔයා ආස දේ කරන්න බැරි නෑ. ඔයා ආස දේට ආස නැති අය ඕනතරං ඉන්නවා. ඒකෙන් කියවෙන්නෑ ඔයා ආස දේ ඔයා නොකර ඉන්න ඕනෙ කියලා. සමාජයට හානි නොවෙනවනං ගැටලුවක් නෑ.”
මහාචාර්ය වාසනා මෛත්‍රී හේරත් බොහෝවිට කරන්නේ උඩුගම් බලා පිහිනීමකි. රාමුවකට කොටු වූ බොහෝ පිරිස් ඇය විවේචනය කරන්නේ අහේතුකවය. නොඑසේනම් ඇය තමන්ට තර්ජනයක් ලෙස සැලකීම නිසාය. එහෙත් ඇය තමන්ව ඉහළට ඔසවා තබමින් ඉදිරියට යයි. අන්‍යයන් ඉදිරියට ගෙනයාමට ද උපරිම සහය දෙයි. ඇගේ ආකර්ෂණීය බවේ රහස දැනුම, පිළිවෙළ සහ හැකියාවයි. එය ආදර්ශයට ගතහැකි ආකර්ෂණීය පෞරුෂයක් බව අවිවාදිතය.
රෂ්නිකා ලියනගේ
