නවතම ප්‍රවෘත්ති

වසර විස්සක් ශීතකරණයේ තිබූ ඩිම්බ කෝෂ පටකයකින් පුතෙක් ලැබිලා

පසුගියදා බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් වන කැසැන්ඩ්රා බේකන් ඇගේ කුලුඳුල් දරු ප්‍රසූතිය සිදුකළාය. එහෙත් එම දරු ප්‍රසූතිය සාමාන්‍ය දරු ප්‍රසූතියක් වූයේ නැත. ඊට හේතුව කැසැන්ඩ්රා යනු වසර 23 ක් පුරා දරුණු පිළිකා රෝගයකින් පීඩාවිඳ ඉන් සුවය ලැබූ කාන්තාවක වීමයි. එම දරු ප්‍රසූතිය සමඟ මේ වනවිට ලෝකයේ පිළිකා රෝගයෙන් පීඩාවිඳින සියලු කාන්තාවන්ට අලුත් බලාපොරොත්තුවක් ඇතිවී තිබේ.

 

“මේ වගේ කතාවක් හිතලා ලියන්නවත් බෑ. ඒ වුණත් මේක මගේ ඇත්තම කතාව….”

 

කැසැන්ඩ්රා එසේ කියන්නේ ඇගේ කතාව එතරම්ම විශ්මිත එකක් නිසාය. ඒ වනවිට ඇයට වයස අවුරුදු 17 කි. දිනක් ඇයට ඇති වූ හදිසි ශරීර අපහසුවකට ප්‍රතිකාර ගැනීමට ගිය විට වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වූයේ ඇය කිසිසේත්ම බලාපොරොත්තු නොවූ දෙයකි. ඒ ඇයට පුද්ගලයකුට කලාතුරකින් වැලඳෙන ලේ පිළිකා වර්ගයක් වන ‘හොජ්කින් ලිම්ෆෝමා’ (Hodgkin Lymphoma) නමැති පිළිකාවට ගොදුරු වී ඇති බවයි.

 

“එදා මං බලපු වෛද්‍යවරු කිව්වා ඉක්මනටම රසායනික චිකිත්සක ප්‍රතිකාර (Chemotherapy) ආරම්භ කරන්න ඕන කියලා. ඒ වෙනකොට මං දැනගෙන හිටියා එහෙම කළොත් මගේ සිරුරට වෙන බලපෑම් ගැන. ඒක අනාගතේ මට මවක් වෙන එකටත් අයහපත් බලපෑමක් කියලා එදා වෛද්‍යවරු කිව්වා. මට ඒක දරාගන්න හුඟාක් අපහසු වුණා. මොකද මං මව් පදවිය ලබන්න ඒ වෙනකොටත් හරිම ආසාවෙන් හිටපු කෙනෙක්.”

 

කැසැන්ඩ්රාට ඩිම්බකෝෂ පටක බද්ධ කිරීමේ ක්‍රමවේදය (Ovarian Tissue Transplant) හෙවත් කාන්තා සරුභාවය සුරැකීමේ ප්‍රතිකාර ක්‍රමය පිළිබඳව දැනගන්නට ලැබුණේ ඒ අතරය.‍

 

“ඒ වෙද්දි ඒක තිබුණේ පර්යේෂණ මට්ටමින්. ඒ වුණත් මගේ අනාගතය ගැනත් හිතලා මං ඒක කරන්න තීරණය කළා.”

 

ඇය එසේ ඩිම්බකෝෂ පටක බද්ධ කිරීමේ ක්‍රමවේදයට යොමුවූයේ 2001 වසරේය. වෛද්‍ය විද්‍යාවට අනුව ඩිම්බකෝෂ පටක බද්ධ කිරීමේ ක්‍රමවේදය යනු කාන්තාවකගේ ඩිම්බකෝෂයේ පිටත ස්ථරයෙන් ලබාගන්නා නිරෝගී පටක කොටස් රැගෙන අධිශීතකරණයක ගබඩාකර පසුකාලීනව නැවත ඇගේ ශරීරයට සැත්කමක් මගින් බද්ධ කිරීමේ ක්‍රියාවලියයි. එමගින් පිළිකා චිකිත්සක ප්‍රතිකාර වැනි හේතූන් නිසා අහිමිවිය හැකි කාන්‍තාවකගේ සරුභාවය සහ ස්වභාවික හෝමෝන ක්‍රියාකාරිත්වය යළිත් යථා තත්වයට පත්කිරීමක් සිදුවේ. එහි ඇති ප්‍රධාන ප්‍රතිලාභය වන්නේ බද්ධ කළ පටකවලට නව රුධිරනාල සම්බන්ධවීමෙන් අනතුරුව ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් වැනි ස්වභාවික හෝමෝන නිපදවීම නැවත ආරම්භ වී එය ස්වභාවිකව ගැබ් ගැනීමට හෝ IVF ප්‍රතිකාර මඟින් (නළ දරු උපත් ක්‍රමය) දරුවන් ලැබීමට කාන්තාවන් වෙත අවස්ථාව උදාවීමයි.

රුවන් එස්. සෙනවිරත්න
සම්පුර්ණ ලිපිය කියවන්න ධරණී පුවත්පත බලන්න