Latest News

විශේෂඥ වෛද්‍යවරුන් රට හැර යාම නිසා රෝහලක ළමා වාට්ටුවක් වැසෙයි

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ළමා වාට්ටුවක් වසා දැමීමට තීරණය කර තිබෙනවා.

එම රෝහලේ සේවයේ නිරතව සිටි ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනාම විදෙස් රටවල පදිංචියට යාම හේතුවෙන් මෙලෙස එම රෝහලේ ළමා වාට්ටුවක් වසා දැමීමට සිදුව ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ අතර අදාළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ, රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකකයට අයත් එම ළමා වාට්ටුව වසා දැමීම හේතුවෙන් වෛද්‍ය සිසුන්ට සායනික පුහුණුව ලබාගැනීමේ අවස්ථාවද අහිමිව ගොස් ඇති බවයි.

එසේම එම රෝහලේ තවත් වෛද්‍යවරු පිරිසක් මේ වනවිට රට හැර යාමේ සූදානමකින් පසුවන බවද එම ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ මේ හේතුවෙන් දිස්ත්‍රික්කයේ ජනතාව බරපතළ අසීරුතාවයකට පත්ව ඇති බවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් පවසන්නේ වෘත්තිකයින්ට සුදුසු පරිසරයක් රට තුළ නොමැතිවීම සහ අන්තනෝමතික බදු ප්‍රතිපත්ති හේතුවෙන් ඇතිවිය හැකි මෙවන් දැඩි අර්බුදකාරී තත්ත්වයන් පිළිබඳ එම සංගමය පසුගිය කාලසීමාවේ දිගින් දිගටම අනතුරු ඇඟවීම් නිකුත් කළ බවයි.

මේ වනවිට රෝහල් අභ්‍යන්තර චක්‍රලේඛයක් මගින් අදාළ වසා දමා ඇති ළමා වාට්ටුවට අනුයුක්තව සේවය කළ වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය වෙනත් වාට්ටු වෙත මාරුකර තිබෙනවා.