Latest News

අයහපත් කාලගුණය දිවයිනටම බලපෑම් – ජලාශ කිහිපයකම ජල මට්ටම ඉහළට

දිවයිනේ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය අද (09) දිනයේ තවදුරටත් බලාපොරොත්තු විය හැකි බවත් බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව උතුරු, වයඹ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් අනුරාධපුර, ත්‍රිකුණාමලය, නුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි අතර මාතලේ,පොලොන්නරුව,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තද වැසි ඇතිවිය හැක.

මේ අතර දැඩි වර්ෂාව හේතුවෙන් ගංඟා කිහිපයක් පිටාර ගලමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

කැලණි ගඟ ද්‍රෝණියේ ඉහළ ප්‍රදේශවල ගංඟාවේ ජල මට්ටම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බැවින් දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පහත් බිම්වල සුළු ගං වතුර අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

මහඔයේ ජල මට්ටම ඉහළයාම හේතුවෙන් වරදගොල්ල, නාඋල්ල, දිවුල්දෙණිය සහ වැලිහිද ග්‍රාමසේවා ප්‍රදේශ මෙන්ම අලව්ව, මීරිගම, වෙන්නප්පුව, මීගමුව සහ කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම්ද ජලයෙන් යටවීමේ අවදානමක් පවතිනවා.

එමෙන්ම සීතාවක ගඟ ද පිටාර මට්ටමේ පවතින බව දැනුම් දී තිබෙනවා.

මේ අතර නිල්වලා ගඟ සහ කළු ගඟේ ජල මට්ටම ඉහළයමින් පවතින නිසා ඇතැම් ස්ථානවල පහත් බිම් ජලයෙන් යටවීමේ අවදානම් නිවේදනයක් වාරි මාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පැවසුවේ දිස්ත්‍රික්ක කිහිපයකට මේ වන විට නායයෑම් අනතුරු අඟවා ඇති බවයි.