Latest News

බී.බී.සී වසරේ වනජීවී ඡායාරූප ශිල්පියා 2021 තරගයෙන් මෙරට ඡායාරූප ශිල්පීන් දෙදෙනෙකුට ජුරියේ විශේෂ පැසසුම්

බී.බී.සී වසරේ වනජීවී ඡායාරූප ශිල්පියා 2021(bbc wildlife photographer of the year 2021) ඡායාරූප ප්‍රදර්ශනයේ ප්‍රතිඵල ඊයේ නිකුත් කෙරුණු අතර එහිදී මෙරට ඡායාරූප ශිල්පීන් දෙදෙනකු ඉදිරිපත් කළ ඡායාරූප මෙවර තරගයේ ප්‍රදර්ශන මට්ටමට හා ජුරියේ විශේෂ පැසසුමට (Highly Commended) ලක්ව තිබෙනවා.

මෙලෙස ජුරියේ විශේෂ ගෞරවය හිමිකර ගත්තේ බුද්ධිලිනි ඩී සොයිසා හා ගඟන වික්‍රමසිංහ යන දෙදෙනා යි.

තවමත් එකොළොස් හැවිරිදි වියේ පසුවන ගඟන වික්‍රමසිංහ, ප්‍රවීන උරග හා උභය ජීවී විද්‍යාඥයෙකු වන මෙන්ඩිස් වික්‍රමසිංහගේ පුත්‍රයා ද වනවා.

මාල ගිරා මවක් ගස් බෙනයක සිටින සිය පැටවුන්ට ආහාර කවන අයුරු සිය කැමරාවට ග්‍රහණය කරගත් ගගන එය බී.බී.සී වසරේ වනජීවී ඡායාරූප ශිල්පියා 2021 තරගාවලිය සඳහා ඉදිරිපත් කර තිබුණේ ‘Lockdown chicks’ නමින්.

සැඩපහරක අසීරුවෙන් පිහිනා යන චීටාවුන් කණ්ඩායමක් බුද්ධිලිනි ඩී සොයිසා ‘A Great Swim’ නමින් පළ කරන ලද ඡායාරූපයට අන්තර්ගත වී තිබුණා.

පළපුරුදු වනජීවී ඡායාරූප ශිල්පිනියක වන බුද්ධිලිනී මෙම දුර්ලභ දසුන ඇයගේ කැමරාවට හසු කර ගෙන ඇත්තේ කෙන්නයාවේ මසායි මාරා ජාතික වනෝද්‍යානය තුළදී යි.

ලොව පුරා අති දක්ෂ ඡායාරෑප ශීල්පින්ගේ ඡායාරූප 55000ක් පමණ අතරින් මෙම ඡායාරූප යුගලය අවසන් කිහිපය අතරට පැමිණ තිබෙනවා.