රූපලවන්‍ය

පැහැය වැඩි කරගන්න නහය පාවිච්චි කරන්නේ මෙහෙමයි

පොඩි කාලේ දහම් පාසලේදි ආනාපානසති භාවනාව වඩන හැටි ඉගැන්නුවා මට මතකයි. ගොඩක් ළමයි දහම් පාසල් ගුරුතුමා කියලා දීපු විදියට ලොකු හුස්මක් උඩට අරන් ඒක පහලට දාද්දි පේන්න තිබුණේ හිත එක්තැන් කරගන්න ගන්න උත්සාහයකට වඩා ඒකෙනුත් විනෝද වෙන ගතියක්. පුරුද්දක් විදියට ආනාපානසතිය වඩද්දී සම පැහැපත් වෙනවා කියලත් ඒ කාලෙ අපිට ඉගැන්නුවා. භාවනා කළාම සම පැහැපත් වෙන්නේ කොහොමද කියලයි එතකොට අපි කල්පනා කළේ.

ආනාපානසති භාවනාවෙදි වෙන්නේ ගැඹුරින් හුස්ම ඉහළ පහල යවන එකනේ. නිවැරදි විදියට හුස්ම ගන්නකොට සම පැහැපත් වෙලා තරුණ වෙන බව අද විද්‍යාත්මකවත් ඔප්පු කරලා තියනවා. හරියට හුස්මක් කටක් අරන් ලස්සන වෙන හැටි කියලා දෙන්න හදන්නේ ඒකයි.

හුස්ම ගන්න උගන්නන්න හදන්නේ ඇයි? මෙච්චරකල් අපි ඕවා ඉගෙනගෙනද හුස්ම ගත්තේ?

දැන් කෙනෙකුට ඔහොම හිතෙන්න පුළුවන්. හුස්ම ගන්නවා නම් තමයි. හැබැයි හරි විදියට නෙවෙයි. මිනිස්සුන්ගෙන් 10%ක්වත් හරියට හුස්මගන්නේ නැහැ කියලයි පෙනහළු පිළිබඳ විශේෂඥ වෛද්‍ය සලීම් අර්කසි කියන්නේ. මනුස්සයෙක් ඉපදුණු හැටියේ කරන පළමුවැනි දේ හුස්මගන්න එක. මැරෙන්න කලින් කරන අවසාන දේත් හුස්මගන්න එක. හුස්ම කියන්නේ අපේ මූලිකම අවශ්‍යතාවය. හැබැයි ගොඩක් අය හුස්ම ගන්නවට හුස්ම ගන්නවා මිසක ඕනකමකින් හුස්ම ගන්නේ නැතිලු. හැබැයි හුස්ම ටික හරියට ගන්නවා නම් සෞඛ්‍ය ප්‍රතිලාභ වගේම රූපලාවණ්‍ය ප්‍රතිලාභත් ගොඩක් ලබාගන්න පුළුවන් කියලයි වෛද්‍යවරුන් කියන්නේ.

ඔස්ට්‍රේලියාවේ කැර්ලින් පාමර් කියලා පරිසරවේදිනියක් ඉන්නවා. ඇය බොහොම පැහැපත්. මම මගේ සමට මොනවද ගාන්නේ කියලා ගොඩදෙනා අහනවා. ඇත්තටම මම සමට ගාන්නේ හුස්ම විතරයි.” සමට හුස්ම ගානවා කියලා ඇය අදහස් කරන්නේ හොඳින් හුස්ම ගන්නවා කියන එකයි.

ශතවර්ෂ ගාණක ඉඳලා මිනිස්සු හුස්ම ගැනීමෙන් අපිට ලැබෙන වාසි ගැනයි එක එක ස්වසන අභ්‍යාස ගැනයි හෙව්වලු. යෝගා, තායි චී, බෞද්ධ භාවනා එයින් ප්‍රතිඵල කිහිපයක්. 1960 ගණන්වලදි බටහිර වෛද්‍යවරු හුස්ම ගැන පරීක්ෂණ කරන්න අරන්. දැන් ඒ රටවල හුස්මගන්න හැටි උගන්නන පංතිත් තියෙනවා. මේගන් මාර්කල්, මැඩෝනා, රිහානා, ඇන්ජලීනා ජොලි වගේ ප්‍රකට උදවියත් සම ලස්සන කරගන්න එව්වට යනවලු.

හුස්මගන්න අවයව අනුව ස්වසනය කොටස් තුනකට වෙන් කරන්න පුළුවන්. එකක් අකු ඇට ආශ්‍රිත හුස්ම (පෙනහල්ලේ ඉහළ කොටස), ඉල ඇට ආශ්‍රිත හුස්ම (පෙනහල්ලේ මැද කොටස) සහ උදරය ආශ්‍රිත හුස්ම (පෙනහැල්ලේ පහලම කොටස) තමයි අනෙක්වා. අපි ගොඩක් වෙලාවට ගන්නේ අකු ඇට ආශ්‍රිත හුස්ම. ජීවත්වෙන්න ඔය හුස්ම ඇති. හැබැයි අනික් ප්‍රතිලාභ ගන්න නම් අපි කරන්න ඕනේ උදරය ආශ්‍රිත හුස්ම ප්‍රගුණ කරන එක.

එහෙම ගැඹුරින් හුස්ම ගන්න එක අපිට බලපාන්නේ කොහොමද? ඒ මෙහෙමයි. ගැඹුරින් හුස්ම ගත්තහම පෙනහළුවලට හොඳට ඔක්සිජන් පිරෙනවා. ශරීරයේ මාංශපේශී ලිහිල් වෙලා හැම සෛලයකයටම හොඳට ඔක්සිජන් සපයනවා. එතකොට පද්ධති ටික හොඳට වැඩ කරන්න ගන්නවා. ශරීරයේ අනවශ්‍ය මේදය දහනය කරන්නත් අතිරික්ත ඔක්සිජන්වලට පුළුවන්.

ගැඹුරින් හුස්ම ගන්නකොට එන්ඩොෆීන් කියන ස්වභාවික වේදනානාශක හෝර්මෝනය මුදාහැරෙනවා. ඒකෙන් අපේ කායික වේදනා සහ ආතතිය අඩුවෙනවා. ආතතියෙන් ඉන්න වෙලාවට ගැඹුරින් හුස්මගන්න කියන්නේ ඒකනේ. ආතතිය අවමවුණාම ඉතින් කොහොමත් සම ලස්සන වෙනවා. ඒ විතරක් නෙමෙයි මැරුණු සෛල වෙනුවට අලුත් චර්ම සෛල හදන්නත් මේ හොර්මෝනය උදව් කරනවා. එතකොට ඉතින් පැල්ලම්, හම රැළි වැටීම එහෙමත් පාලනය වෙලා තරුණබව රැකෙනවා.

ඉතින් පුළුවන් හැම වෙලාවකම බඩට දැනෙන්න ගැඹුරින් හුස්මගන්න. මොකද ඒකට සල්ලි යනවා කියලයෑ.

කටින් හුස්මගන්න එපා නිතරම නහය පාවිච්චි කරන්න. මොකද නහය හරහා පෙනහළුවලට හොඳට ඔක්සිජන් දෙන්න පුළුවන් කියලයි වෛද්‍යවරු කියන්නේ. තව දෙයක්, කටින් හුස්ම ගත්තහම අපේ කෙල වාශ්ප වෙලා මුඛය සහ සමේ සෛල විජලනය වෙන්න පුළුවන් කියන එකත් ඇමරිකාවේ ස්ටෑන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් හොයාගෙන තියෙනවා.

ඒ වගේම කඳු, පඩිපෙල් වගේ නගිනවා නම් හොඳට හුස්ම ගන්න. ව්‍යායාම කරද්දි නැත්තම් මහන්සි දැනෙන බර වැඩක් කරද්දිත් ගැඹුරට හුස්ම ගන්න අමතක කරන්න එපා.

හොඳින් හුස්මගන්න වැදගත් වෙන ස්වසන අභ්‍යාස කීපයක් ගැනත් බලමු. හැමදාම විනාඩි දහයක් පහළොවක්වත් මේ විදියට හුස්මගන්න බලන්න. හෘදරෝග, ශ්වසන අපහසුතා, විශාදය, අධි රුධිර පීඩනය වගේ රෝග තියෙනවා නම් වෛද්‍ය නිර්දේශ නැතිව මෙව්වා කරන්න යන්න එපා.

කොඳුඇට පේළිය කෙළින් තියාගෙන සුව පහසුවට ඉඳගන්න. ඔෆිස් එකේ වැඩ කරන ගමන් වුණත් මේක කරන්න පුළුවන්. ඊටපස්සේ හොඳින් හුස්මක් පිට කරලා පෙනහළු හිස් කරන්න. ආයෙත් හොඳ හුස්මක් අරන් තත්පර හතරක් හුස්ම අල්ලගෙන ඉන්න. ඊට පස්සේ මුඛය හරහා හෙමින් හුස්ම පිට කරන්න.

ඊළඟට සැහැල්ලුවට හිටගෙන තොල් දෙක හකුළලා ලිපට හුළං පිඹින විදියට බඩට දැනෙන්න ටික වෙලාවක් හුළං පිඹින්න. ඊටපස්සේ හොඳ ගැඹුරු හුස්මක් ගන්න. ප්‍රාණයාම, උජ්ජායි, නදි ශෝදන වගේ හුස්ම ගන්න උගන්නන යෝගා ප්‍රගුණ කරන්න. බොක්ස් හුස්මගැනීම, ආනාපානසති භාවනාව වගේ දේවල් කරන්නත් පුළුවන්.

හරි. දැන් හොඳ හුස්මක් ගන්න. ඒක පිට කරන්න. අද ඉඳලා ලස්සන වෙන්න නහයත් පාවිච්චි කරන්න.

සෙව්වන්දි හෙට්ටිආරච්චි