Latest News

උප්පැන්න සහතිකයේ වෙනසක්

උප්පැන්න සහතිකය නිකුත් කිරීමේදී එයට අනන්‍යතා අංකයක් නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව “ශ්‍රී ලංකා අනන්‍යතා අංකය” උප්පැන්න සහතිකයට ඇතුළත් කිරීමට ආරක්ෂක අමාත්‍ය වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍යවරු විසින් අනුමත කර ඇත.

ශ්‍රී ලංකාවේ උපදින ඕනෑම දරුවෙකු උපතේදී ලියාපදිංචි කර එම දරුවාට ජාතික උප්පැන්න සහතිකය නිකුත් කිරීමේ බලය ඇත්තේ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව වෙතයි.

එම බලය “උප්පැන්න සහ මරණ ලියාපදිංචි කිරීමේ පනත” අනුව පැවරී ඇත.

වයස අවුරුදු 15 සපිරුණු පුද්ගලයින්ට ජාතික හැඳුනුම්පත් නිකුත්කිරීම පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට පවරා ඇත.

2008 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනතේ විධිවිධාන (ශ්‍රී ලංකා අනන්‍යතා අංක) නියෝග අනුව සෑම ශ්‍රී ලංකා පුරවැසියෙක් සඳහා ම ශ්‍රී ලංකා අනන්‍යතා අංකය නිකුත්කිරීම සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට බලය පවරා තිබෙනවා.

එම අනන්‍යතා අංකය ජාතික හැදුනුම්පත සකස් කිරීමට යොදා ගන්නා අතර, එමඟින් උපතේ සිට මරණය දක්වා සිදු කෙරෙන ක්‍රියාකාරකම්වල දී රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවාවන් ලබා ගැනීමට පහසු වනු ඇත.

මීට පෙර පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත අනන්‍යතා අංක ලබාදීම සඳහා බලය ලබා දී තිබූ අතර, මින් පසු රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවට ද එම අවසරය හිමි වනවා.