සුව දිවිය

මූණ – අතපය අතගානවා වගේම පියයුරුත් අතගාලා බලන්න

විසිහත් වියැති සඳමිණීගේ වම් පියයුරේ නිතර නිතර කසනසුළු ස්වභාවයක් ඇති වුවත් සඳමිණී ඒ ගැන වැඩිය ගානකට ගත්තේ නම් නැහැ.

හැබැයි තවත් දින කිහිපයකින් ඒ අසළම කුඩා ගැටිති කිහිපයක් මතුවෙද්දී සඳමිණී ටිකක් බය වුණා.

‘‘අක්කේ බලන්නකෝ මෙතන පොඩි ගෙඩි දෙක තුනක් ඇවිල්ලනේ. වෙලාවකට කසන ගතියකුත් තියෙනවා. පිළිකාවක්වත්ද දන්නේ නෑ…’’

ඇය මේ ගැන මුලින්ම කිව්වේ එහා ගෙදර කමලා අක්කා එක්ක.

‘‘ඔය වයසට මොන පිළිකාද නංගියේඔය මොකෙක්හරි සතෙක් කාලා වෙන්න ඇති…’’

කමලා කිව්වේ එහෙමයි.

සඳමිණීගෙයි කමලාගෙයි මේ කතාව කනින් කොනින් ඇහුනු කමලාගේ නංගිත් ඉක්මනින්ම එතැනට ආවා.

‘‘අපේ ඔෆිස් එකේ ගිය සතියේ ඔය ගැන දැනුවත් කරන වැඩසටහනක් තිබ්බා. ඔය වයසෙදි වුණත් පියයුරු පිළිකාවක් ඇතිවෙන්න බැරි නෑ. ඔය වගේ වෙනස්කම් ආවම හැමෝගෙන්ම ඒ ගැන අහන්න යනවට වඩා කෙලින්ම ගිහිල්ලා ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන එක තමයි වැඩිය හොඳ.’’

කමලාගේ නැගණිය කීවේ ටිකක් නොමනාපයෙන් වගේ. ඇයගේ කරුණු පැහැදිලි කිරීම නිසා වහාම වෛද්‍යවරයෙකු වෙත යාමට සඳමිණී ඉක්මන් වුණා. ඒ විතරක් නෙවෙයි සඳමිණීට පියයුරු පිළිකාවක් ඇතිවෙලා තිබෙන බවත් එහිදී සනාථ වුණා. නමුත් ඇය සිටියේ පියයුරු පිළිකාවේ මුල් අවධියේ නිසා කිසිම ගැටළුවක් වුණේ නැහැ.

කල්තියා හඳුනාගැනීමෙන් පියයුරු පිළිකාව සම්පූර්ණයෙන්ම සුව කළ හැකියි. නමුත් මේ සඳහා ඔබේ දැනුවත්භාවය බොහෝ වැදගත්. මේ තත්ත්වය පිළිබඳ ජාතික පිළිකා ආයතනයේ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් අබේසිංහ මහතාගෙන් කරුණු විමසීමට අප සිතුවේ ඒ නිසයි.

‘‘බොහෝදෙනා නොදන්නවා වුණාට ලංකාවෙන් අවුරුද්දකට පියයුරු පිළිකා රෝගීන් 3500-4000ක් අතර ප්‍රමාණයක් වාර්තා වෙනවා. පියයුරු පිළිකාවට වැඩි වශයෙන්ම ගොදුරු වන්නේ අවුරුදු 40-65 වයස් කාණ්ඩයේ කාන්තාවන්. හැබැයි අඩු වයස්වල අයට මේ තත්ත්වය ඇතිවෙන්නේ නැහැ කියන එක ඒකෙන් අදහස් වෙන්නේ නැහැ. අවුරුදු 20 ඉඳලා ඕනම කාන්තාවකට පියයුරු පිළිකාවක් ඇතිවෙන්න පුළුවන්. කාන්තාවන්ට විතරක් නෙවෙයි පිරිමින්ටත් පියයුරු පිළිකාව හැදෙනවා. හැබැයි කාන්තාවන්ට සාපේක්ෂව බැලුවම ඒ සඳහා තියෙන්නේ 1%වගේ අවධානමක් විතරයි.’’

සාමාන්‍යයෙන් පියයුරු පිළිකා සෛල ඇතිවන්නේ ක්ෂිර නාල සහ ග්‍රන්ථිවලයි. මෙම පිළිකා සෛල ක්ෂිර නාල සහ ග්‍රන්ථි වටා ඇති ආස්තරණයෙන් පිටතට පැමිණි විට රුධිර පද්ධතියට හා වසා පද්ධතියට එකතු වී වෙනත් අවයවවලටද පැතිරේ.

‘‘පිළිකාව පැතිරුණු ආකාරය අනුව එය අපිට අවස්ථා හතරකට වෙන් කරන්න පුළුවන්. පිළිකාව පියයුරට පමණක් සීමාවුණු අවස්ථාව තමයි පිළිකාවේ මුල්ම අවස්ථාව. ඒ අවස්ථාවට පස්සේ අතරමැදි අවස්ථා දෙකක් තියෙනවා. පිළිකා සෛල අක්මාව, පෙනහළු, මොළය වගේ ශරීරයේ අනිත් අවයවවලට පැතිරුණු අවස්ථාව තමයි අපි පිළිකාවේ හතරවැනි අවස්ථාව විදිහට හඳුන්වන්නේ.’’

වෛද්‍යවරයා කියන්නේ පියයුරු පිළිකාවක් මුල් අවස්ථාවේදීම හඳුනාගැනීම මගින් මුලදීම අවශ්‍ය ප්‍රතිකාර සිදුකිරීමට ලැබෙන නිසා පිළිකාව සම්පූර්ණයෙන්ම සුවකළ හැකි බවයි.

‘‘හැබැයි හතරවැනි අවදියේදී පිළිකාව හඳුනගත්තොත් පිළිකාව සම්පූර්ණයෙන්ම සුව කරන්න අමාරුයි. ඒ කියන්නේ රෝගියා ජීවත්වන කාලයත් අඩු වෙනවා කියන එකයි.’’

පියයුරු පිළිකා සම්බන්ධයෙන් වර්තමාන සමාජය තුළ දැනුවත් කිරීම් වැඩි වශයෙන් සිදුවන නිසා බොහෝ කාන්තාවන්ට පළමු, දෙවැනි සහ තෙවැනි අදියරවලදීම පියයුරු පිළිකාව හඳුනාගැනීමට හැකියාව ලැබී ඇත.

‘‘ඒක ඇත්තටම සතුටට කාරණාවක්. හැබැයි රෝගය පැතිරුණාට පස්සේ ප්‍රතිකාර වෙත එන පිරිසකුත් නැතුවම නෙවෙයි. හැම කාන්තාවක්ම මේ ගැන තව තවත් අවධානය යොමු කරන්න ඕනේ ඒ නිසයි.’’

පියයුරු පිළිකාවක් ඇතිවීමට බලපාන ප්‍රධානම හේතුව කාන්තා හෝර්මෝනය ලෙස හැඳින්වෙන ඊස්ට්‍රජන් කාන්තාවන්ගේ සිරුරේ තිබීමයි. වයස්ගත වීමද පියයුරු පිළිකා අවධානම වැඩිවීමට එක් හේතුවක් බව ඔහු කියයි.

‘‘ඔය කාරණා දෙකට අමතරව ආර්ථව චක්‍ර වැඩි ගණකට භාජනය වූ කාන්තාවන්, ඒ කියන්නේ අවුරුදු 11ට පෙර ඔසප් වීම ආරම්භ වුණු සහ අවුරුදු 55න් පසුවත් ආර්ථවය නතර නොවූ කාන්තාවන්ට පියයුරු පිළිකාවක් ඇතිවීමේ අවධානම වැඩියි. ඒ වගේම දරුවන් නොමැති කාන්තාවන්ට, වයස අවුරුදු 35 පසුවී දරුවන් ලැබුණු කාන්තාවන්ට සහ මව්කිරි ලබා නුදුන් කාන්තාවන්ටත් පියයුරු පිළිකාවක් ඇතිවීමේ වැඩි අවධානමක් තියෙනවා.’’

මේ කරුණුවලට අමතරව අධික ස්ථුලභාවය, නිතර විකිරණවලට නිරාවරණය වීම වැනි දෑ ද පියයුරු පිළිකාවක් ඇතිවීම සඳහා හේතුවිය හැකියි.

‘‘ඔය කිව් අවධානම් කාණ්ඩවල ඉන්න කාන්තාවන් නිරන්තරයෙන්ම තමන්ගේ පියයුරු ගැන සැලකිලිමත් වෙන්න. පියයුරු පිළිකාව හඳුනගන්න තියෙන හොඳම විදියක් තමයි මාසිකව ස්වයං පියයුරු පරීක්ෂාවක් කරන එක.’’

අවුරුදු 20න් ඉහළ සෑම කාන්තාවක්ම සෑම මසකම ඔසප්වීමෙන් සතියකට පසු ස්වයං පියයුරු පරීක්ෂාවක් සිදුකිරීම ඉතා වැදගත්ය. පරීක්ෂාවේදී පියයුරුවල හැඩයේ වෙනසක්, මතුපිට සමේ, වර්ණයේ නැතිනම් සමේ ස්වභාවයේ වෙනසක්, තන පුඩු වණවීමක්, තුවාලවීමක් වැනි අසමානතා ඇතිවී තිබෙනවාද යන්න විනාඩි කිහිපයක් හොඳින් පරීක්ෂා කළ යුතුයි.

‘‘වගේම තනපුඩුවෙන් යම් ශ්‍රාවයක් එනවාද, එතකොට වේදනාවෙන් තොර හෝ වේදනාවෙන් යුතු ගැටිති තියෙනවාද කියන කාරණා ගැනත් සැලිකලිමත් වෙන්න ඕනේ. මේ කිව් කාරණාවලට අමතරව වෙනදා නොතිබුණු මොකක්ම හරි වෙනසක් දැක්කොත් වහාම වෛද්‍යවරයෙකු වෙත යන එක තමයි හොඳ.’’

ලෝකය ගොඩනැගී ඇත්තේ හිරුගේ කිරණින් සහ මව්කිරෙන් බව අප අසා ඇත. ඉදින් ලෝකය ගොඩනගන්නට ඔබට ලැබුණු මේ දායදය ජීවිතය උදුරාගන්නට හේතු සපයන්නක් නොකරගත යුතුය. ඒ නිසා මේ අවධානමෙන් ගැලවීමට අද සිටම ස්වයං පියයුරු පරීක්ෂාවට යොමුවන ලෙස ඔබට ආදරණීය මතක් කිරීමක් කරන්නෙමු.

ජාතික පිළිකා ආයතනයේ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් අබේසිංහ

සෙව්වන්දි හෙට්ටිආරච්චි