Latest News

සිය නිවසේදීම බිළිඳෙකු ප්‍රසූත කළ බාල වයස්කාර දැරිය

බාල වයස්කාර දැරියක් සිය නිවසේදී ම බිළිඳෙකු ප්‍රසූත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 29 හැවිරිදි විවාහක පුද්ගලයෙකු පූජාපිටිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වයස අවුරුදු දාහතරයි මාස නවයක් වන මෙම දැරිය පූජාපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් ගම්මානයක පදිංචිව සිටිනවා.

මෙම බාල වයස්කාර දැරිය එම ප්‍රදේශයට පැමිණි පුද්ගලයෙකු සමඟ ඇති කර ගත් හිතවත්කමක් මත දැරිය දූෂණයට ලක්ව ඇති බවට සැක කෙරෙන අතර අතවර හේතුවෙන් දැරිය ගැබ් ගෙන ඇති අතර, එය සියලු දෙනාගෙන් සඟවාගෙන සිට ඇති බව සඳහන්.

කෙසේ නමුත් දින කිහිපයකට පෙර මෙ දැරිය නිවසේ දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති අතර, ඒ සඳහා අවශ්‍ය වෙද්‍ය සහාය නොලැබීම හේතුවෙන් අධික රුධිර වහනයට ලක් වූ දැරිය පසුව මහනුවර මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

අදාළ දැරිය අතවරයට ලක් කිරිම සම්බන්ධයෙන් සැක පිට ගලගෙදර ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි විවාහක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම බිළිදා සම්බන්ධයෙන් ඩී.එන්.ඒ . පරීක්ෂණයක් සිදු කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.

සැකකරු අද ගලගෙදර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර පූජාපිටිය පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.