Latest News

ගෙවල්වල ඉඳන් ප්‍රතිකාර ගත් කොවිඩ් රෝගීන් ගැන අලුත්ම අනාවරණයක්

මාස 05ක පමණ කාලයක් තුළ කොවිඩ් ආසාදිතයින් 101,152ක් නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමවේදයට යොමුකර සිටි බව පවුල් වෛද්‍ය විද්‍යා විශේෂඥවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පවසනවා.

“නිවෙස්ගත රෝගී සත්කාරක සේවාව කොවිඩ් රෝගීන් සඳහා වු මේ දක්වා මාස 5කට ආසන්න කාලයක් සාර්ථකව සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරගෙන ගිහින් තියෙනවා. එහිදි ඇත්තටම අපිට හැකිවෙලා තියෙනවා රෝගීන් 101,152ක් මේ පද්ධතියට ඇතුළත් කරගෙන ප්‍රතිකාර කරන්න. එහිදී රෝගීන් 95,436ක් සාර්ථකව ප්‍රතිකාර ලබාදීලා එම පද්ධතියෙන් නිදහස් කරලා තියෙනවා. රෝහල් කරා ඇතුළත් කිරීමට අපට අවශ්‍ය වෙලා තිබුණේ 1,522ක්. ඒ කියන්නේ සියයට 1.5කට වඩා අඩු ප්‍රතිශතයක්ග ඇත්තටම අද දවස වෙනකොට අපිත් එක්ක රෝගී සත්කාරක සේවයේ රැඳිලා ඉන්න රෝගීන් සංඛ්‍යාව 3,701ක්. එය ඇත්තටම සෑහෙන අඩු සංඛ්‍යාවක් මුල් කාලයේ රෝගීන් සමඟ සැසඳීමේ දී”

ඉදිරි මාස කිහිපය තුළ වෛරස ව්‍යාප්තිය යළි ඉහළ යා හැකි බවට සෞඛ්‍ය අංශ විසින් අනතුරු අඟවා ඇති බැවින් ජනතාව වගකීමෙන් කටයුතු කළ යුතු බව විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය සඳහන් කරනවා.

“පසුගිය කාලයේ කොවිඩ් රෝගීන්ගේ අඩුවීමක් දක්නට ලැබුණත් නැවතත් අපිට සෞඛ්‍ය අංශ වෙත ලැබෙන තොරතුරු අනුව අනිවාර්යයෙන් ම මේ රෝගය ඉදිරි මාස කිහිපය තුළ වැඩිවෙනවා. ඒ නිසා මේ තත්ත්වය තේරුම් අරගෙන අපි හැමෝම සාමුහික වගකීමෙන් කටයුතු කරන්න ඕනේ.”