Latest News

තරුණ පිරිස් එන්නත ලබා නොගැනීම බරපතලයි

වයස අවුරුදු 20 ත් 29ත් අතර තරුණ තරුණියන් කොවිඩ් 19 මර්දන එන්නත් ලබා නොගැනීම බරපතල තත්ත්වයක් බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (04) කොළඹ දී පවතී මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ වනවිට මෙරට පුද්ගලයින් එක්කෝටි හතලිස් පන්ලක්ෂ ඇසුදහස් දෙසීය හය දෙනෙකු කොවිඩ් 19 මර්දන එන්නතක පළමු මාත්‍රාව ලබාගෙන ඇති අතර, මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව එක්කෝටි දහඅට ලක්ෂ පනස් අටදහස් විසි නවයක්.

ඒ අනුව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළ පරිදි මෙරට වයස අවුරුදු 20 ත්, 29 ත් අතර තරුණ තරුණියන් අතරින් කොවිඩ් 19 මර්දන එන්නතක පළමු මාත්‍රාව ලබාගත් ප්‍රතිශතය 54.9% ක් වන අතර එම වයස් කාණ්ඩයේ එන්නත් දෙකම ලබාගත් පිරිස 12.9% ක් වනවා.

මේ අතර වයස අවුරුදු 15ත් 19ත් අතර ළමුන් සඳහා කොවිඩ් එන්නත ලබාදීම ආරම්භ කිරීම සම්බන්ධයෙන් මෙම සතිය තුළ ජනාධිවතිවරයා උපදෙස් ලබාදෙනු ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

කතරගම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙම අදහස් පළ කළා.

“විවිධ රෝගාබාධ සහ සංකූලතා ඇති වයස අවුරුදු 12ත් 19ත් අතර දරුවන්ට එන්නත්කරණය මේ වනවිට සිදුකෙරෙනවා. ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන්නා ඒ එන්නත්කරණය අවසන් වූ වහාම වයස අවුරුදු 15ත් 19ත් අතර දරුවන් එන්නත්කරණය ආරම්භ කරනවා කියලා. ඒ අනුව බොහෝදුරට ජනාධිපතිවරයා මේ සතියේ ඒ පිළිබඳව උපදෙස් ලබාදෙයි, කෙසේද එම එන්නත්කරණය කරන්නේ කියලා. දැනට දී තිබෙන උපදෙස් අනුව ඔක්තෝබර් 15වනදා වෙනකම් ජනතාවට ඒකරාශීවීමට අවස්ථාවක් ලබාදෙන්නේ නෑ. ඒ තත්ත්වය පවත්වාගෙන යනවා. ඔක්තෝබර් 15න් පස්සේ ඒ තත්ත්වය මගහැරීමට බොහෝදුරට අවස්ථාව තියෙනවා,” යනුවෙන් යුද හමුදාපතිවරයා පැවසුවා.

මේ අතර මහරගම පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබන ළමුන්ට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදීම අද දිනයේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර මහතා සඳහන් කළා.