Latest News

කොවිඩ් මර්දන කරලට තාක්ෂණික කමිටුවේ අනුමැතිය

කොවිඩ් 19 වෛරස මර්දනයට හඳුන්වා දී ඇති කරල් සඳහා ඖෂධ පිළිබඳ තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.

අද (15) කොවිඩ් -19 පිළිබඳ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් වෛද්‍යවරයා එම අදහස් පළ කළා.

රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පසුගිය දා සඳහන් කළේ, කොවිඩ් 19 මර්දනය සඳහා ම(ර්)ක් සමාගම හඳුන්වාදී ඇති මොල්නුපිරවි (molnupiravir) නැමති ඖෂධ කරල මෙරට භාවිතය සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි.

මෙම ඖෂධ කරල මේ වනවිට පරීක්ෂණ මට්ටමේ පවතින අතර එහි මූලික ප්‍රතිඵල සාර්ථක බව විශේෂඥයින් පවසනවා.

එහි නිවැරදි මාත්‍රාව ලබාදුන් විට කොවිඩ් වැලඳී ඇති බවට හඳුනාගත් පුද්ගලයින්ව රෝහල්ගත කිරීම සහ මරණ අඩකින් පමණ අඩුකර ගත හැකි බව සඳහන් වෙයි.

මෙම ඖෂධය මිනිස් සෛල තුළදී කොරෝනා වෛරසය අනුකරණය කරමින් කොරෝනා වෛරසය විනාශ කිරීම සිදුවේ.

වෛද්‍ය විශේෂඥයින් පවසන්නේ මෙම ඖෂධ කරල සාර්ථක වුවහොත් කොරෝනාවට එරෙහි සටන සාර්ථක කරගත හැකි බවයි.

ඔස්ට්‍රේලියාව, දකුණු කොරියාව සහ මැලේසියාව ඇතුළු රටවල් රැසක් මේ වනවිට එම ඖෂධ කරල සඳහා ඇණවුම් ලබාදී ඇත.