Latest News

ඩෝරා බලාගන්න වෛද්‍ය ප්‍රියසාද්ට ප්‍රහාරයක්

රිදියගම සෆාරි උද්‍යානය තුළදී සතුන් ඝාතනය කෙරෙන බව එම උද්‍යානයේ පශු වෛද්‍ය නිලධාරී ප්‍රියසාද් එදිරිවර්ණ මහතා සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කර තිබෙනවා.

තමන් තවදුරටත් එහි සේවයේ නිරත වීම ද පවා අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇති බවත් බහුතරයක් සේවකයින් දැඩි කළකිරීමකින් සිටින බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

මෙහිදී අදාළ වීඩියෝව මගින් පශු වෛද්‍යවරයා සඳහන් කලේ, රිදියගම සෆාරි උද්‍යානය තුළට පිටතින් රැගෙන එන සතුන් අමානුෂික ලෙස සිරකරගෙන සිටින බවයි.

උද්‍යානය තුළදී විවිධ උපක්‍රම යොදා සතුන් මරා ,අනතුරුව මාංශ පිටස්තර පුද්ගලයින්ට වෙළෙඳාම් කරන බවද අදාළ වීඩියෝව මගින් ඒ මහතා පෙන්වා දුන්නා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍යවරයා සඳහන් කලේ, සතුන්ට ආහාර සැපයීම සිදුකරන පෝෂණ අංශය විසින් සිදුකරන සොරකම් පිළිබඳව ද තමන් ඉදිරියේදී හෙළිදරව් කිරීමට සුදානම් බවයි.

එමෙන්ම පසුගිය වසර 5 තුළ තම රාජකාරී කටයුතුවලට විශාල වශයෙන් බාධා එල්ලවූ බවත් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගතහොත් තමන් ඉදිරියේදී රාජකාරියෙන් ඉවත්වන බව ද ඒ මහතා සඳහන් කළා.

රිදියගම සෆාරි උද්‍යානය තුළ සිටින ඩෝරා නමැති සිංහ පැටවා රැකබලා ගැනීමත් සමග වෛද්‍යවරයා ජනතාව අතර කැපීපෙනුනා.

කෙසේවෙතත් පසුගිය දා අදාළ වෛද්‍යවරයා විසින් ඩෝරා බැලීමට යාමේදී රිදියගම සෆාරි උද්‍යානය තුළදී ආයතනයේ සේවකයින් පිරිසක් විසින් වෛද්‍යවරයා හට පහරදී තිබුණා.

පහරකෑමට ලක්වූ පශු වෛද්‍ය ප්‍රියසාද් එදිරිවර්ණ මහතා මේ වන විට හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.