සුව දිවිය

නිල් චිත්‍රපට බලන්න ඇබ්බැහි වුණු මහත්තුරුන්ට නෝනව වහකදුරු වෙලා පේන්නේ ඇයි?

ලිංගිකත්වය සම්බන්ධ කාරණා එළිපිට කතා කිරීම මහා අපරාධයක් බවයි තවමත් අපේ සමාජයේ බොහෝදෙනා විශ්වාස කරන්නේ. මේ නිසාම ඊට අදාළ ගැටලු සහ ලෙඩරෝගවලට නිසි පිළියම් ලබාගැනීමට ඔවුන්ට කිසිසේත් අවස්ථාවක් උදාවෙන්නේ නැත. පිළිබඳව කතාබහ නොකිරීම තුළින් නිර්මාණය වන්නේ අතෘප්තියත්, කුතුහලයත් පමණි. මේ නිසා සෞඛ්‍යමත් ලිංගික ජීවිතයක් පවත්වාගෙන යාම සහ ඒ ආශ්‍රිත ගැටලු සාකච්ඡා කිරීම සඳහා ලිංගික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රගීත් ප්‍රේමදාසගේ වෘත්තීය අත්දැකීම් සහ දැනුම ආශ්‍රයෙන් මේ ලිපි මාලාව සම්පාදනය වේ.

සඳමාලිට අයන්තව යෝජනා කරලා තියෙන්නේ ඇගේ මිතුරියක්. ඒ වෙනකොට අයන්ත විදේශගතවෙලා රැකියාවක් කරමින් තමයි ඉඳලා තියෙන්නේ. දැන අඳුනාගෙන අවුරුද්දක් විතර යනකොට අයන්ත ලංකාවට ඇවිල්ලා සඳමාලිව විවාහ කරගෙන තියෙනවා. ඉන්පස්සේ ඔහුත් ලංකාවේම නතරවෙලා ව්‍යාපාරයක් පටන් අරගෙන. ඒ මීට අවුරුද්දකට විතර කලින්. සඳමාලි එදා ලිංගාශ්‍රිත රෝග සායනයට ඇවිල්ලා තිබුණේ පවුල් ජිවිතේ අවුල් කළ අයන්තගේ ඇබ්බැහිවීමකට උත්තර හොයාගෙන. ඇය මාත් එක්ක කිව්ව ඇගේ කතාව මම ඇගේ වචනයෙන්ම මේ විදියට සටහන් කරන්නම්.

‘‘ගතිගුණ අතින් අයන්ත බොහොම හොඳ කෙනෙක්. මම එයාව විවාහ කරගන්න තීරණය කළෙත් ඒකමයි. විවාහයෙන් සතියක් දෙකක් යනකල් අපේ ලිංගික ජීවිතය සාමාන්‍ය විදියට ගලාගෙන ගියත් පස්සෙ පස්සේ එයා හිතාමතාම මාව මහඅරින්න පටන්ගත්තා.

ගොඩක් දවසට වැඩ නිසා මහන්සියි කියලා ලිංගික එක්වීම් මගහරිනවා. නිවාඩු දවස්වලටත් නැති වැඩක් හරි දාගෙන ගොඩක් රෑ වෙලා ගෙදර එනවා. මම එයාගේ ළඟට ගියත් එයා මාත් එක්ක එකතු වෙන්න කැමති වුණේ නැහැ. මම දරුවෙක් හදන්න කැමතියි. ඒත් ඒකටවත් එයාට උවමනාවක් නැහැ. ඉතින් අයන්තට වෙන සම්බන්ධයක් තියෙනවද කියලත් මට සැකයක් ඇති වුණා. ඒ නිසා මම එයා ගැන නිතරම හෙවිල්ලන් ඉන්න පටන්ගත්තා. මෙයා මහ රෑටත් නිදි මරාගෙන ජංගම දුරකතනය දිහා බලාගෙන ඉන්න බව පස්සේ මට තේරුණා. ඉතින් මම හොරෙන්ම එයාගේ ෆෝන් එක පරීක්ෂා කළා. අයන්ත හැම දවසකම පැය ගණන් නිල් චිත්‍රපටි නරඹනවා කියලා එතකොට තමයි මම දැනගත්තේ. විවාහ වෙලා තවම අවුරුද්දක් විතර නිසා මට අයන්තව දික්කසාද කරලා දාන්නත් හිතුණා. ඒත් එයාව මේ තත්ත්වයෙන් ගලවගන්න පුළුවන් කියලා මට විශ්වාසයක් තියෙනවා. ඒ නිසා තමයි මම මේ ගමන ආවේ.’’

ලිංගාශ්‍රිත රෝග වෛද්‍යවරයෙක් විදියට මම සඳමාලි කිව්ව මේ කතාව අහපු පළවෙනි වතාව මේක නෙවෙයි. සැමියා ලිංගික දර්ශන නරඹන්න ඇබ්බැහි වෙලා කියලා උපකාර පතාගෙන එන බිරියන් සුලබයි.

තාක්ෂණයේ දියුණුවත් එක්ක මේක අපේ රටේ යුවළ අතර තියෙන සුලබ ප්‍රශ්නයක් වෙලා. ඒ නිසා මේ ගැන අපි කතා කරන්නම ඕනේ.

ලිංගිකත්වය කියන්නේ ජීවවිද්‍යාත්මක සත්ව අවශ්‍යතාවයක්. මිනිසුන්ගේ හිතේ ලිංගිකත්වය ගැන විශාල කුතුහලයක් තියෙනවා. ඒක ඉතාම ස්වභාවික දෙයක්. ඒ නිසා ඔවුන් ඒ සම්බන්ධ දේ කියවන්න, බලන්න ලොකු කැමැත්තක් දක්වනවා. මීට අවුරුදු ගාණකට කලින් අපේ රටේ අසභ්‍ය පුවත්පත් පවා තිබුණා. ඒ කාලේ තරුණයන් බොහෝදෙනා ඒවා කියවපු බව රහසක් නෙමෙයි.

තාක්ෂණයේ දියුණුව එක්ක අද වෙනකොට හිතුණු ඕනම වෙලාවක අන්තර්ජාලයට ගිහිල්ලා අසභ්‍ය චිත්‍රපටයක් නරඹන එක ඉතාම පහසු දෙයක්. ඒ නිසා බොහෝදෙනා ඉතා ළාබාල අවධියේ ඉඳලම අසභ්‍ය චිත්‍රපට නැත්නම් නිල් චිත්‍රපට බලන්න පෙළඹෙනවා. නිල් චිත්‍රපට නරඹන කාන්තා ප්‍රතිශතයට වඩා මේවා නරඹන පිරිමි ප්‍රතිශතය ඉහළයි.

ලිංගිකත්වය කියන්නේ ස්වභාවික මිනිස් අවශ්‍යතාවයක් කියලා මම කිව්වනේ. ඉතින් නිල් චිත්‍රපටයක් නරඹන එක මානසික රෝගයක්වත් අස්වාභාවික දෙයක්වත් නෙමෙයි කියන එක මුලින්ම කියන්න ඕනේ.

ඉතින් අවිවාහක කෙනෙක් තමන්ගේ ලිංගික අවශ්‍යතා සපුරාගන්න නිල් චිත්‍රපට නරඹන එක ගැන වෛද්‍යවරු විදියට අපි වරදක් කියන්නේ නැහැ. හැබැයි එයත් ඇබ්බැහි නොවන විදියට මැනවින් කළමනාකරණය කරගන්න දක්ෂ වෙන්න ඕනේ.

නමුත් විවාහයක් ඇතුළේ ලිංගික අවශ්‍යතා සපුරාගන්න ප්‍රධාන මාර්ගය වෙන්න ඕනේ අඹු-සැමියන් අතර සිදුවෙන ලිංගික එක්වීම්. එහෙම නැතුව අඹු-සැමි සබඳතා පැත්තකට දාලා අසභ්‍ය චිත්‍රපටි නැරඹීම හරහා තනිව ලිංගික තෘප්තිමත්භාවයක් ලබනවා නම් ඒක ඇත්තටම ගැටලුවක්.

මේ නිල් චිත්‍රපට බොහෝමයක් ලිංගික හැඟිම් හොඳින් ඇවිස්සෙන ආකාරයට සැලසුම් කරලා කරපු නිර්මාණ. අනික තමන්ගේ ආශාවන්ට අනුගත විදියට තෝරලා බේරලා බලන්න පුළුවන් විදියට ඒ ඒ දර්ශන කාණ්ඩගත කරලා තියෙනවා. ඉතින් මේවා නරඹනකොට ඇතිවෙන උත්තේජනයෙන් මොළය වඩා සතුටට පත්වෙන රසායන නිකුත් වෙනවා. ඒ නිසා කෙනෙක් පහසුවෙන් මේ දර්ශන නැවත නැවත නරඹන්න ඇබ්බැහි වෙන්න පුළුවන්.

ඔය විදියට ඉහළ තෘප්තිකර දේකට ඇබ්බැහි වුණාම සාමාන්‍ය තෘප්තියකින් සතුටක් ලබන්න අපහසුයි. අසභ්‍ය චිත්‍රපට නරඹන්න ඇබ්බැහි වුණ බහුතරයක් සැමියන්ට අඹු-සැමි එක්වීමකින් ඉහළ තෘප්තියක් ලබාගන්න බැහැ. ඔවුන් ලිංගික සබඳතා ප්‍රතික්ෂේප කරන්නෙත් ඒ නිසයි. මේ හේතුව නිසාම කාලයත් එක්ක ඒ පුද්ගලයා ලිංගිකව අකර්මණ්‍ය වෙන්නත් ඉඩ තියෙනවා. ලිංගික අකර්මණ්‍යතාවලට ප්‍රතිකාර ගන්න එන අයගෙන් අපි මුලින්ම අහන ප්‍රශ්නය තමයි ඕනවට වඩා අසභ‍්‍ය චිත්‍රපට නරඹනවද කියන එක.

ලිංගික අකර්මණ්‍යවීම්වලට අමතරව ලිංගික ආශාව අඩුවීම, ලිංගික සබඳතා සිදු නොවෙන නිසා බිරිඳ සැමියව සැක කිරීම නැතිනම් සැමියා බිරිඳව සැක කිරීම වගේ ගැටලුවක් ඇතිවෙන්න පුළුවන්.

ඒ වගේම තමයි තමන්ගේ අවයව සහ ලිංගික ඉදිරිපත් කිරීම් ගැන ඇතිවෙන හීනමානය. නිල් චිත්‍රපට කර්මාන්තය මහා පරිමාණයෙන් සිද්ධවෙන මහා ව්‍යාපාරයක්. ඉතින් මේ වගේ රඟපාන බොහෝදෙනා ඔවුන්ගේ ලිංගික අවයවවල හැඩය හා ප්‍රමාණය සැත්කම්වලින් වෙනස් කරගෙන තියෙනවා. ඒ වගේම මේවා සැලසුම් කරලා පැය ගණනාවක් රූගත කරනවා. ඉතින් නිල් චිත්‍රපටයක් නැරඹුවාම ‘‘මගේ අවයවවල ප්‍රමාණය කුඩායි නැත්නම් මට මේ තරම් වෙලාවක් ලිංගික එක්වීමක් සිදු කරන්න බැහැ’’ කියලා කෙනෙක්ට පසුතැවිමක් ඇතිවෙන්න පුළුවන්. ඒ වගේ සිතුවිලි ලිංගික බෙලහීනතාවයට විතරක් නෙමෙයි සහකරුවා සමඟ ලිංගික එක්වීමකට යන්න භීතියක් ඇති කරන්නත් හේතු වෙන්න බැරි නෑ. මේ වගේ හේතු නිසා නිල් චිත්‍රපටවලට ඇබ්බැහි වුණ අයට විශාදය, කාංසාව වගේ මානසික ගැටලු පවා ඇතිවෙන්න පුළුවන්.

නිල් චිත්‍රපට නැරඹුවහම විකෘති ආශාවන් ඇතිවෙනවද කියලත් සමහරු අහනවා. මේ චිත්‍රපට නැරඹුවාට අමුතුවෙන් විකාති අශාවන් ඇතිවෙන්නේ නැහැ. හැබැයි උපතින්ම නැත්නම් වෙනත් මානසික ගැටලුවක් නිසා විකෘති ආශාවන් තියෙන කෙනෙක් ඒ අදාළ ආකාර​යේ දර්ශන වැඩි වශයෙන් නරඹන්න පෙළඹෙන්න ඉඩ තියෙනවා.

ඉතින් තමන්ගේ සැමියා නිල් චිත්‍රපට නරඹන්න ඇබ්බැහිවෙලා කියලා යම් බිරිඳකට දැනෙනවා නම් මුලින්ම සැමියත් එක්ක ඒ ගැන විවෘතව කතා කරන්න. ඒ ඇබ්බැහිවීමෙන් මිදෙන්න ඔහුට උදව් කරන්න. ලිංගාශ්‍රිත සායනවල සිදුවෙන මනෝලිංගික උපදේශනවලින් මේ ඇබ්බැහිවීම් පහසුවෙන්ම යටපත් කරන්න පුළුවන්.

ප්‍රගීත් ප්‍රේමදාස

ලිංගික සෞඛ්‍ය පිළිබඳව විශේෂඥ වෛද්‍ය

 

සෙව්වන්දි හෙට්ටිආරච්චි