Latest News

දරුවන් 90%කට ප්‍රමාණවත් සාක්ෂරතාවක් නැහැ – අධ්‍යාපන අමාත්‍යාංශයෙන් හෙළිදරව්වක්

කොවිඩ් සමයේදී පාසල් නොපැවැත්වීම තුළින් මෙරට දරුවන්ගේ අධ්‍යාපනය දරුණු පසුබෑමකට ලක්වී ඇති බව නවතම සමීක්ෂණ වාර්තාවකින් ආනවරණය වී තිබෙනවා.

තුන්වැනි ශ්‍රේණියේ දරුවන් යොදාගෙන සිදුකරන ලද සමීක්ෂණයට අනුව සියයට 90කට පමණ ප්‍රමාණවත් සාක්ෂරතාවක් හෝ අංක පිළිබඳ දැනුමක් ලබාගැනීමට නොහැකි වී ඇති බව එම වාර්තාවේ සඳහන් වනවා.

කොවිඩ් වසංගතය හේතුවෙන් පාසල් දරුවන්ට සිදුවූ බලපෑම පිළිබඳ සොයාබැලීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මෙම සංගණනය සිදු කර තිබෙනවා.

ඒ, 2021 දෙසැම්බර් සිට 2022 ජනවාරි මස දක්වා කාලය තුළදීයි.

මේ සඳහා දිවයිනේ සෑම පළාතක්ම ආවරණය වන පරිදි පාසල් 1,009ක තුන්වැනි ශ්‍රේණියේ දරුවන් 10,000ක් පමණ සහභාගී කරගෙන තිබෙනවා.

සමීක්ෂණය සිදුකර තිබුණේ සවන් දීම, කථන හැකියාව, කියවීම, ලිවීම, සංඛ්‍යා හා මූලික ගණිත දැනුම ඇතුළු අංශ කිහිපයක් ඔස්සේය.

එම දරුවන්ගෙන් සියයට 90කට පමණ ප්‍රමාණවත් සාක්ෂරතාවක් හෝ අංක පිළිබඳ දැනුමක් ලබාගත නොහැකි වී ඇති බව එමගින් අනාවරණ වී තිබෙනවා.

සංගණනය සඳහා සහභාගී වූ දරුවන්ගෙන් සවන්දීමේ කුසලතාව සාක්ෂාත් කරගෙන තිබුණේ සියයට 27ක පිරිසක් වන අතර දරුවන්ගෙන් සියයට 73ක එම කුසලතාව අසමත් වී තිිබෙනවා.

කථන කුසලතාවට මුහුණ දුන් දරුවන්ගෙන් සියයට 20ක් පමණක් සමත්වී තිබූ අතර සියයට 80ක පිරිස එය අසමත් වී තිබෙනවා.

සමීක්ෂණයට සහභාගී වූ දරුවන්ගෙන් සියයට 37 දෙනෙකු කියවීමේ කුසලතාව සම්පූර්ණ කර තිබූ අතර ලිවීමේ කුසලතාව සම්පූර්ණ කිරීමට සමත්වී තිබුණේ සියයට 34ක ප්‍රතිශතයක් පමණි.

දරුවන්ගේ සංඛ්‍යා දැනුම පරීක්ෂා කිරීමේදී එය සමත්ව තිබුණේ සියයට 7ක් පමණ වූ ඉතා අඩු සංඛ්‍යාවක්.

අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ එම වාර්තාවේ දැක්වෙන්නේ, පාසල් වසා දමා තිබූ කාලසීමාව තුළ දරුවන්ගෙන් සියයට 26කට ඔන්ලයින් අධ්‍යාපන පහසුකම් සඳහා ප්‍රවේශයක් නොතිබූ බවයි.