Latest News

Facebook එකෙන් පෙම් කළ තරුණිය අභිරහස් ලෙස මියයයි

බලන්ගොඩ, මස්සැන්න, හෙලකන්ද ප්‍රදේශයේ නිවසක කාමරයක් තුළ තිබී සැකසහිත ලෙස මියගිය තරුණියකගේ සිරුරක් ඊයේ (20) බලන්ගොඩ පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ ,මුල්පනාන, කන්තලේ පදිංචිව සිටි හේරත් මුදියන්සේගේ දුෂානි ප්‍රියන්කා නමැති අවිවාහක තරුණියක්.

අදාළ තරුණිය බලන්ගොඩ, මස්සැන්න, හෙලකන්ද ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයකු සමග මුහුණු පොත මගින් ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර මීට දින 12කට පෙර ඇය අදාළ තරුණයා සමග ඔහුගේ නිවසේ ජීවත්ව සිට ඇත.

කෙසේවෙතත් ඒ වනවිටත් ඔවුන් දෙදෙනා විවාහවී සිට නොමැති බවයි වාර්තා වන්නේ.

මෙහිදී ඉකුත් (19) රාත්‍රියේ එම තරුණයා නිවසේ සිට නොමැති අතර, ඔහුගේ මව එම තරුණියට රාත්‍රි ආහාර ගැනීමට කතාකර ඇතත්, ඇය සිටි කාමරය වසා තිබීම හේතුවෙන් එම තරුණයාගේ සහෝදරයා ප්‍රදේශවාසීන්ගේද සහාය ඇතිව අදාළ කාමරයේ දොරගුළු කඩා තිබෙනවා.

එවිට ඇය කඹයකින් එල්ලී සිටිනු දුටු බවත් ඇය බේරාගැනීම සඳහා කඹය කපා ඉවත් කළ බවත් තරුණයාගේ මව පොලිසියට පවසා ඇත.

කෙසේ නමුත් පොලිසිය සඳහන් කළේ, සිරුර පරික්ෂා කිරීමේදී ගෙලහි කඹයක්⁣ නොතිබුණ බවයි.

බලන්ගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් ඩී.එම්. චන්ද්‍රසේන විසින් ඒ පිළිබඳ මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූ අතර, බලන්ගොඩ මූලික රෝහලේ අධිකරණය වෛද්‍ය නිලධාරි වෛද්‍ය චතුරංග විසින් අධිකරණ වෛද්‍ය පරික්ෂණය පවත්වා තිබෙනවා.

රත්නපුර අපරාධ පරික්ෂණ කොට්ඨාසයේ නිලධාරින් විසින් ස්ථානීය පරික්ෂණය සිදු කළ අතර,පශ්චාත් මරණ පරික්ෂණය ඊයේ (20) බලන්ගොඩ මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබුණා.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරික්ෂණ බලන්ගොඩ පොලිසිය විසින් සිදුකරයි.