Latest News

මෙරට ජනගහනයෙන් 60%කට පෝෂ්‍යදායී ආහාර නැහැ

කොවිඩ් 19 වෛරස ව්‍යාප්තියෙන් පසු ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 60% කට පමණ පෝෂ්‍යදායී ආහාර ලැබි නොමැති බව ආහාර අයිතීන් පිළිබඳ සොයා බැලීමේ ජාතික ආයතනය කළ සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

ආහාර මූලික කරගත් තොරතුරු හා ක්‍රියාකාරී ජාලය (FIAN Srilanka ආයතනය) ශ්‍රී ලංකාවේ දිස්ත්‍රීක්ක 10 ක සිදුකළ සමීක්ෂණයකින් මේ බව අනාවරණය වී ඇත.

කොවිඩ් ව්‍යාප්තිය ආරම්භ වූ 2020 දෙසැම්බර් මස සිට මේ වසරේ ජනවාරි 30 වැනිදා දක්වා කාලය තුළ කොළඹ, යාපනය, පුත්තලම, ගම්පහ, කළුතර, ගාල්ල, මඩකලපුව, මහනුවර, නුවරඑළිය සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල කළ එම සමීක්ෂණ වාර්තාව පසුගියදා එළිදැක්වීය.

එම සමීක්‍ෂණයට භාජනය වූ පුද්ගලයන්ගෙන් 71% ක් අඩු මිලට ආහාර ලබාගෙන ඇති බවත් 69% ක් සතියේ ආහාර වේල්වලින් වේල් පහක් ලබාගෙන නැති බවත් හෙළිවිය.

එම පුද්ගලයන්ගෙන් 14% ක් සතියකට දිනයක් හෝ දින දෙකක් එකම ආහාර වේලක් හෝ ගෙන නොමැති බව එම වාර්තාවෙන් අනාවරණය වී තිබෙනවා.

එමෙන්ම මෙම කාල පරාසයේදී ජනතාවගේ වියදම් පිළිබද කරන ලද සමීක්ෂණයේදී වෛද්‍ය ප්‍රතිකාර ලබාගත නොහැකිව සිටි පුද්ගලයින් 16%ක්, දරුවන්ට අධ්‍යාපන වියදම් දරාගත නොහැකි පවුල් 40%ක්, ආර්ථික දුෂ්කරතා හමුවේ නිවෙසේ ගෘහ උපකරණ විකුණූ පුද්ගලයින් 57%ක්, නිවෙස් හා ඉඩම් විකුණා ඇති 3%ක් සිටින බවත් අනාවරණය වි ඇත.

රජය කොවිඩ් 19 ව්‍යාප්තිය මුළුමනින්ම පාලනය කර ගැනීමට අසමත් වී ඇති බවත් මෙම කාල සමයේ දී ගෘහස්ථ ප්‍රචන්ඩත්වය ඉහළ ගොස් ඇති බවත් මධ්‍යසාර භාවිතය සදහා ඉඩකඩ විවර විම ඊට හේතු වි තිබෙන බවත් මෙම වාර්තාව මගින් වැඩිදුරටත් අනාවරණය කර තිබෙනවා.

‘කුසගින්නෙන් හා මන්දපෝෂණයෙන් තොර ලෝකයක් අපේක්ෂා කරයි’ යන තේමාව යටතේ ක්‍රියාත්මක FIAN Srilanka ආයතනයේ www.fiansrilanka.lk වෙබ් අඩවිය එළිදැක්විමද පසුගිය සතියේ සිදුවුණා.