Latest News

ස්ත්‍රී – පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා සවිබල ගැන්වීම ප්‍රතිපත්ති ඇගයීමට ලක්වෙයි

ස්ත්‍රී – පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය අනුමත කිරීමේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කැපවීම එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) විසින් අගය කර තිබෙනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ, ජනාධිපතිවරයාගේ එම කැපවීම ශ්‍රී ලංකාවේ ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය සහ අයිතිවාසිකම් සහතික කිරීමේ තීරණාත්මක පියවරක් බවයි.

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ඇගයීම් කාර්යාලයේ අධ්‍යක්ෂ මාර්කෝසෙගොන් ඇතුළු නියෝජිතයන් ඊයේ (27) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වූ අවස්ථාවේ දී මේ බව සඳහන් කර තිබෙනවා.

ප්‍රතිපත්ති, ආයතනික සහ වෘත්තීය මට්ටමින් ශක්තිමත් ජාතික ඇගයීම් හැකියාවන් වර්ධනය කිරීමේ ජයග්‍රහණ පිළිබඳව ද එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල මෙහිදී ශ්‍රී ලංකාවට සුබ පැතුම් පිරිනැමුවා.

විශේෂයෙන්ම රාජ්‍ය අංශයේ ඇගයීම් ප්‍රවර්ධනයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වය ඇගයීමට ලක් කළ නියෝජිත පිරිස ශ්‍රී ලංකාව අභියෝග ජය ගැනීමේ දී එය සුවිශේෂී කාර්ය භාරයක් ඉටු කරනු ඇති බවට විශ්වාසය පළ කළා.

අනෙකුත් ජාතීන් හා සසඳන විට ශක්තිමත් ජාතික ඇගයීම් හැකියාවන් වර්ධනය කිරීමේ දී ශ්‍රී ලංකාව ලබා ඇති සැලකිය යුතු ප්‍රගතිය මෙහිදී එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් පිළිගනු ලැබුවා.

ඊට අදාළ පනත් කෙටුම්පතක් ඉදිරියේ දී පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළා.

විශේෂයෙන්ම ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා සවිබල ගැන්වීම යන ක්ෂේත්‍රවල තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා වගවීම සහ යහපාලනය ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම පෙන්වා දුන් මාර්ගෝපදේශ ශ්‍රී ලංකාවේ ජාතික ඇගැයීම් හැකියාව වර්ධනය කිරීමට සහාය දැක්වීමට ද සහතික වුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්, ජාතික ඇගයීම් ධාරිතා සංවර්ධන විශේෂඥ අසේල කළුගම්පිටිය යන අය සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ඇගයීම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී තිබුණා.