සුව දිවිය

අලුත බඳින ජෝඩු හනිමූන් යන්න කලින් කරන්න වැඩක් තියෙනවා

දිලිනි වයස අවුරුදු 28ක සුන්දර තරුණියකි. නිවසින් ගෙන ආ මංගල යෝජනාවකට අනුව ඈ කසුන් සමඟ විවාහ වී ඇත.

ඩොක්ටර්අපි බැඳලා තවම සති එකහමාරයි. එකතු වුණු පළවෙනි දවසේ ඉඳලම මට ඉවසගන්න බැරි මුත්‍රා දැවිල්ලක් තියෙනවා.”

මුලදි තමා මේ තත්ත්වය එතරම් ගණනකට නොගත්තත් තත්ත්වය එන්න එන්නම නරක අතට හැරුණු බව ඈ කියයි.

කරුණා කාරණා සැලකිල්ලට ගත් පසු ඇයට මුත්‍රා ආසාදනයක රෝග ලක්ෂණ ඇති බව මට පැහැදිලි විය.

එය සායනිකව සනාථ කිරීම උදෙසා මම දිලිනිව කායික පරීක්ෂණයකට සහ රුධිර පරීක්ෂණයකට බඳුන් කළෙමි. එසේම ඇයගේ මුත්‍රා මාර්ගයෙන් සහ ගැබ්ගෙලින් ලබාගත් මාත්තු ද පරීක්ෂාවට ලක් කළෙමි.

එයින් තහවුරු වූයේ ඒ වනවිට ඇයට ‘හර්පිස්’ නමැති වෛරසය ආසාදනය වී ඇති බවයි.

පසුව මම කසුන්වද අදාළ පරීක්ෂණවලට ලක් කළෙමි. ඔහුද හර්පීස් ආසාදිතයෙකු බව තහවුරු වූයෙන් ඔවුන්ගේ කායික සබඳතාවල ඉතිහාසය පිළිබඳව විමසා බැලුවෙමි.

අපි දෙන්නම කලින් සම්බන්ධතාවලදි ලිංගිකව එකතු වෙලා තියෙනවා ඩොක්ටර්. ඒ දේවල් කතාබහ කරලා තමයි අපි මේ කසාදේ කළේ.”

පෙර සබඳතාවල අතීතගත සිදුවීම් සෝද සෝදා මඩේ දමනවාට වඩා ඒවා අතීතයටම බාරදී අනාගතය ගොඩනැගීම වඩා හොඳ බව ඔවුන් හොඳින් වටහාගෙන තිබිණි. ඒ නිසාම කරුණු කාරණා පිළිබඳව ඉතා විවෘතව කතාබහ කළ ඔවුන් මා සමඟ පවසා සිටියේ ඉදිරියේදී ඔවුන්ට යහපත් පවුල් ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය පරිසරය සකසා දෙන ලෙසයි.

මෙම රෝග තත්ත්වය මැනවින් පාලනය කළ හැකි නිසා මේ පිළිබඳව අනවශ්‍ය භීතියක් ඇති කරගත යුතු නැති බව මම ඔවුන්ට පැහැදිලි කළෙමි.

නිසි ප්‍රතිකාර මගින් ඔවුන්ගේ රෝගය සාර්ථකව පාලනය කර යහපත් සුන්දර පවුල් ජීවිතයකට අවශ්‍ය පදනම සකසාදීමට මට හැකි විය.

විවාහයට ප්‍රථමයෙන් වෙනත් සහකරුවන් සමඟ ලිංගිකව එක්වුණු අයෙක්ගේ ශරීරයට රෝග ලක්ෂණ නොපෙන්වාම යම් යම් රෝගකාරක වෛරස හෝ බැක්ටීරියා ඇතුළු වී තිබිය හැකිය. එවිට ඔහු නොදැනුවත්වම ඒවා ඔහුගේ ලිංගික සහකරුවන්ටද බෝවේ.

ගොනෝරියාව, ක්ලැමීඩියාව වැනි ලිංගික රෝග ආසාදනය වූවකු සමඟ පවත්වන පළමු ලිංගික සබඳතාවයේදීම ඔහුගේ ලිංගික සහකරුවාට මුත්‍රා ආසාදන ඇතිවිය හැකිය.

ඇතැම් කාන්තාවන්ට විවාහයෙන් පසු සිදුවන පළමු එක්වීමෙන්ම එවන් මුත්‍රා ආසාදන ඇතිවන අතර, ඒවා මධුසමයේදී ඇතිවන මුත්‍රා ආසාදන(Honeymoon Cystitis) ලෙස හඳුන්වයි.

මධුසමය ආශ්‍රිත මුත්‍රා ප්‍රදාහය ඇතිවීමට බලපාන ප්‍රධානතම හේතුව ගුද මාර්ගය ආශ්‍රිතව වර්ධනය වන E.Coli නම් බැක්ටීරියා විශේෂයයි. නමුත් ලිංගාශ්‍රිත රෝග නිසාත් කලාතුරකින් මෙම තත්ත්වය මතුවන බව සඳහන් කළ යුතුයි.

දිලිනි සඳහන් කළ රෝග ලක්ෂණවලට අමතරව නිතර නිතර කුඩා ප්‍රමාණවලින් මුත්‍රා පිටවීම, මුත්‍රා සමඟ විවිධ ස්‍රාවයන් පිටවීම, උණ ඇතිවීම, යටිබඩේ වේදනාව වැනි රෝග ලක්ෂණ ද මධුසමය ආශ්‍රිත මුත්‍රා ප්‍රදාහයේ රෝග ලක්ෂණ ලෙස මතුවිය හැකිය.

විවාහ වූ අලුත ඇතිවූ මෙවන් ගැටළු පිළිබඳව කතා කිරීමට යාමෙන් විවාහයට ගැටළුවක් වේ යැයි සිතනා නිසාදෝ බොහෝදෙනා මධුසමයෙන් පසු ඇතිවන මුත්‍රා ආසාදනවලට ප්‍රතිකාර ගන්නේ නැති තරම්ය. ඉන්පසු සිද්ධවෙන්නේ නියපොත්තෙන් කැඩීමට තිබූ දෙය පොරොවෙන් කැපීමටය.

එසේම විවාහ වන දෙදෙනාගෙන් එක් අයෙකු හෝ විවාහයට පෙර වෙනත් සබඳතා පවත්වා ඇත්නම් පළමු එක්වීමට පෙර ලිංගාශ්‍රිත රෝග පරීක්ෂාවක් වෙත යොමු වීම වඩා හොඳය.

එවිට නිසි ප්‍රතිකාර මගින් විවාහයට පෙරම රෝගය නිට්ටාවටම සුව කිරීමට හෝ නැවත සංකූලතා මතු නොවන ලෙස පාලනය කරගැනීමට හැකිය.

දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම ඇති ජාතික ලිංගාශ්‍රිත රෝග සායන මගින් මෙම පරීක්ෂණ නොමිලයේම කරගත හැකි බවත් කිව යුතුය.

ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය

I.L. ජයවීර

MBBS.PG. Diploma

MD (Venereology)

ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන වැඩසටහන

 

සෙව්වන්දි හෙට්ටිආරච්චි