Latest News

කුඩු නෝනිගේ බෝනික්කා ජාවාරම හෙළි කරයි

පසුගිය කාලවකවානුව තුළ අපට නිතරම කාන්තාවන් මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත වූ පුවත් අසන්නට ලැබුණා. දැනට රටේ පවතින වාතාවරණය අනුව පළාත් අතර සංචරණ සීමාවන් පනවා ඇති නිසා බොහෝදෙනා කුරියර් සේවාවන් ඔස්සේ තම භාණ්ඩ ලබා ගැනීම සඳහා යොමු වී තිබෙනවා. මෙවැනි වාතාවරණයක් පවතින කාලවකවානුවක මෙම සේවාව අයුතු ලෙස භාවිතා කරමින් ගෙන ගිය ජාවාරමක් ගැන වාර්තා වෙනවා.
කොළඹ ප්‍රදේශයේ පිහිටා තිබෙන කුරියර් සේවා ආයතනයකට ලැබුණු සැකකටයුතු පාර්සලයක් හේතුවෙන් මෙම කරුණු අනාවරණය වී තිබේ. කුරියර් සේවා ආයතනය හරහා ත්‍යාගයක් යවන මුවාවෙන් බෝනික්කකු තුළ සඟවා හෙරොයින් බෙදාහැරීමට උත්සාහ කළ “කුඩු නෝනි ” නමැති තැනැත්තිය මෙහිදී අත්අඩංගුවට ගනු ලැබුණා. ඇය මීට පෙර ද සෙල්ලම් භාණ්ඩවල සඟවා අනුරාධපුරයට හෙරොයින් යවා ඇති බවත් අනාවරණය වී තිබේ. එහිදී හෙරොයින් ග්‍රෑම් එකක් මෙම බෝනික්කා තුළ තිබී හමු වී තිබෙනවා.

අදාළ තෑගි පාර්සලය යැවිය යුතු අනුරාධපුරයේ ලිපිනය සොයා යාමෙන් මත්ද්‍රව්‍යවලට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට මෙහි දී හැකිවී තිබෙනවා. ඔවුන්ගෙන් ලබාගත් තොරතුරු අනුව ජාවාරමේ නිරත වූ මෙම කුඩු නෝනි නම් කාන්තාව කඩුවෙල නිවසක දී හෙරොයින් ග්‍රෑම් පනස්හයක් ද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ සැකකරුවන් පිරිස රඳවා ගැනීමේ නියෝග මත තබාගෙන ප්‍රශ්න කරන බවයි.