Latest News

මුල්ලේරියාව ඝාතනයක් සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට

මුල්ලේරියාවේදී සිදුවූ පුද්ගල ඝාතනයට සම්බන්ධ සැකකාරියන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 55 හැවිරිදි වියේ පසුවන කාන්තාවක් හා 18 හැවිරිදි තරුණියක්.

බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයට ලද තොරතුරකට අනුව කළ විමර්ෂණයකදී සැකකාරියන් අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ සැකකාරියන් හම්බන්තොට බඳගිරිය ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර ඔවුන් බොරැල්ල සහ මුල්ලේරියාව ප්‍රදේශවල පදිංචිකාරිනියන් වේ.

ඝාතනය සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් 05 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය ඔක්තෝබර් මස 26 වනදා මුල්ලේරියාව මීගහවත්ත ප්‍රදේශයේ නිවසකට ඇතුල්වූ පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම ඝාතනය සිදුකර තිබුණා.

එහිදී එම පුද්ගලයන් සම්පූර්ණ මුහුණු ආවරණය කරගෙන යතුරු පැදියකින් පැමිණ නිවසේ තුළට පැන වෙඩි තබා ඇත.

එම අවස්ථාවේ කාමරයේ පුද්ගලයන් දෙදෙනෙකු සිට ඇති අතර වෙඩි වැදීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්විය.

බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.