Latest News

දරුවෝ සම්බන්ධ කාරණාවලදී දිවෙන් දිව ගාගෙන ඉන්න අයවත් විශ්වාස කරන්න එපා

පසුගිය 09 වනදා දඹුල්ල කලෝගහ ඇළ ප්‍රදේශයේ පාළු නිවසක තිබී දාහතර හැවිරිදි දැරියකගේ මළ සිරුරක් සොයාගැනිනි.

මෙසේ මියගොස් තිබුණේ දඹුල්ල ඩී.එස්.සේනානායක විදුහලේ නවවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි බුද්ධිමා පියුමාලි නමැති සිසුවියයි.

දැරිය මියගොස් තිබුණේ දැඩි ලෙස ලිංගික අපයෝජනවලට ලක්වීමෙන් පසු බව මරණ පරීක්ෂණයේදී අනාවරණය විය. සැකකරු පවුලට ඉතාම හිතවත්ව ළඟින්ම සිටි අයෙකි. නිසා බුද්ධිමාගේ මව වන චන්ද්‍රා ජයසේකර කියන මේ කතාව දූවරුන් සිටින සෑම අම්මා කෙනෙකුටම වැදගත් වනු ඇති බව අපේ විශ්වාසයයි.

බුද්ධිමා දරුවන් පස්දෙනෙකුගෙන් යුත් පවුලක සිව්වැන්නියයි. ඇයට වැඩිමල් සහෝදරියන් තිදෙනෙකු සහ බාල සහෝදරයෙකුද සිටියි. ඇගේ දෙමව්පියන් රැකියාව ලෙස කළේ කුලී වැඩය. ඇගේ එකම අරමුණ කෙසේ හෝ තම අධ්‍යාපන කටයුතු සාර්ථකව නිමකර වෛද්‍යවරියක් වීමයි. ඒ වෙනුවෙන් ඇය දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වූවාය. එසේම ගමේ බොහෝ දරුවන්ට ඇය අමතර පංති ද පැවැත්වුවාය. එසේ පංති පවත්වා උපයාගත් මුදලින් පෑනක් පොතක් ගෙන ඉතිරිය ගෙදර වියදමට ලබාදීම ඇගේ පුරුද්ද විය. උදේ පටන් රෑ වනතුරු කුලී වැඩ කර දෑතේ කරගැට කඩමින් ගෙදරට එන තම මවටත් පියාටත් ඇය නිරන්තරයෙන්ම කියූ එක් දෙයක් ඇත. එනම් තමන් වෛද්‍යවරියක් වූ පසු මේ සියලු දුක් කරදරලින් තම පවුල මුදවාගන්නා බවයි.

‘‘බුද්ධිමා කියන්නේ ඉස්කෝලෙ වැඩට වගේම බාහිර වැඩවලටත් ගොඩක් දක්ෂ ළමයෙක්. අහල පහල ළමයින්ට ප්‍රශ්න පත්තර දුන්නහම ඒවා කියලා දීලා, අමතර පංතියක් කරලා හොයාගන්න කීයකින් හරි තමයි දුව එයාගෙ ඉගෙනීමේ වැඩ කරගත්තේ. ඒ විතරක් නෙවෙයි වැඩිමල් දුවලා තුන්දෙනා කසාද බැඳලා ගිහිල්ලා නිසා මහත්තයයි, මමයි කුලී වැඩට ගියාම ගෙදර බලාගත්තෙත් බුද්ධිමා දුව තමයි. සමහරක් වෙලාවට ම​ගේ දෙවනි දුව රේණුකායි, එයාගෙ හොඳම යාළුවා ගයාත්‍රියි අපේ ගෙදර ඇවිත් අඩුපාඩු හොයලා බලලා කරනවා.’’

රේණුකාට ගයාත්‍රිව දැන හඳුනාගන්නට ලැ​බෙන්නේ ඇය දඹුල්ල ඩී.එස්.සේනානායක විදුහලේ අධ්‍යාපනය ලැබූ කාලේදීය. එම නිසාම රේණුකාට ගයාත්‍රිව යෙහෙළියකටත් එහා ගිය සහෝදරියක් මෙන් විය.

එසේම ​රේණුකාට ඇගේ සැමියා අසේලවත්, ගයාත්‍රිට පහන්වත් මුණ ගැසෙන්නේ පාසල් කාලයේදීමය.

පහන් සහ අසේල යන දෙදෙනාම සිය ජීවිකාව ලෙස කරගෙන ගියේ පෙදරේරු වෘත්තියයි. එනිසාම පහන්ට වැඩ ලැබෙන තැනක අත්උදව්වට අසේලවත්, අසේල වැඩට යන තැනක පහන්වත් කැටුව යාමට ඔවුනොවුන් අමතක නොකළහ.පසුගිය හතරවනදා පහන්ටත්, අසේලටත් රැකියාවේ තාවකාලික නිවාඩුවක් ලැබුණු නිසා, රේණුකා පවසා තිබුණේ සියලුදෙනාටම ඔවුන්ගේ ගෙදර එන ලෙසය. ගයාත්‍රි ද එයට කැමති වූයේ එකපයින්ය. අනතුරුව හතරවනදා උදෑසන රේණුකාලාගේ ගෙදර ගිය ඔවුහු එදින රාත්‍රියද එහි ගතකර කලෝගහ ඇළ ගෙදරට ගොස් තිබුණේ පහුවදාය.

එදින හයවනදා උදෑසනය. පෞද්ගලික වැඩ කටයුත්තක් සඳහා බුද්ධිමාගේ අක්කා වන රේණුකාත්, ඇගේ සැමියා අසේලත් මාතලේට ගොස් තිබුණි. එදින උදෑසන 7.30ට පමණ බුද්ධිමාලගේ නිවසට පැමිණි පහන් කියා තිබුණේ තමන්ගේ දියණියට පාඩම් වැඩ කිහිපයක් දැනගැනීමට ඇති බැවින් ඔවුන්ගේ කලෝගහඇළ නිවසට පැමිණ උගන්වන ලෙසය.

‘‘ඒ වෙලාවෙ දුවගේ තාත්තා කිව්වා පවුලට කොච්චර හිතවත් කෙනෙක් වුණත් දරුවව තනියම යවන්න එපා කියලා. බුද්ධිමාත් ඒ වෙලාවේ පහන්ට කිව්වා එයාට 3​ට ඔන්ලයින් පංතියක් තියෙන නිසා ඒ වෙලාවෙ එන්න බෑ කියලා…’’

කුමක් කීවද පහන් එතැනින් පිටව යන පාටක් නම් පෙනෙන්නට තිබුණේ නැත. කෙසේ හෝ තම සිතැඟියාවන් ඉටුකර ගැනීමට තරම් සූක්ෂම වූ පහන් තමන් සමඟ යාමට බුද්ධිමාව කැමති කරවා ගත්තේය. ඒ කෙසේ හෝ සවස තුනට පෙර ඇයව නැවතත් නිවසට ගෙනත් ඇරලන පොරොන්දුව පිටයි.

එහෙත් ඒ වනවිටත් පහන් ගයාත්‍රිව නැවතත් හඹරත්තෑවල තාවකාලික නිවසට ඇරලවා ඇති බවක් බුද්ධිමාගේ දෙමව්පියන්වත්, රේණුකා හෝ අසේලවත් දැනසිටියේ නැත.

‘‘පහන් හතරවෙනිදා රේණුකාලගේ ගෙදර නැවතිලා ඉද්දි රේණුකයි, අසේලයි හයවෙනිදා මාතලේ යනවා කියලත් දැනගෙන තියෙනවා. ඒ සේරම විස්තර දැනගෙන එයාලා මාතලේ ගියාට පස්සේ සැලසුම් කරලා තමයි බුද්ධිමාව එක්කගෙන යන්න ඇවිත් තියෙන්නේ. ඒත් අපි මෙච්චර දෙයක් දැනගෙන හිටියේ නැහැ. පොරොන්දු වෙච්ච විදිහට පහන් එදා හවස බුද්ධිමාව එක්කගෙන ආවේ නෑ. අන්තිමට මම රේණුකා දුවට කතා කරලා කිව්වම එයා කිව්වා ගයාත්‍රි එයාගෙ හොඳම යාළුවා නිසා කලබල නොවී ඉන්න කියලා. හතරවෙනිදා රෑ ගයාත්‍රිලා අපේ දුවලගෙ ගෙදර ගියපු වෙලෙත් නංගිට කියලා ළමයට පංතියක් කරවගන්න ඕන කියලා ගයාත්‍රියි පහනුයි කතා කරලා තිබුණා.’’

හත්වනදා සහ අටවනදා යන දෙදිනම බලා සිටියද බුද්ධිමා ගෙදර ආවේ නැත. එහෙත් රේණුකාලා නම් කීවේ ඊට කලබල වන්නට අවශ්‍ය නැති බවයි. පහන්ගේ කලෝගහ ඇළ නිවසට ගොස් බුද්ධිමාව කැටුව එන ලෙස චන්ද්‍රා, රේණුකාලාගෙන් කිහිපවිටකදීම ඉල්ලා සිටියද, රේණුකා කියා සිටියේ එම නිවස තිබෙන තැන ඔවුන් නොදන්නා බවයි.

‘‘බලාගෙන ඉඳලා බැරිම තැන මම නව වැනිදා දඹුල්ල පොලිසියේ පැමිණිල්ලක් දැම්මා. ඊටපස්සේ පොලිසියෙන් ගෙදරට ඇවිල්ලා මේ ගැන හොයන්න පටන්ගත්තා.’’

පසුව දඹුල්ල පොලිසියේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව පහන් සහ ගයාත්‍රි කුලියට සිටි කලා්ගහ ඇළ කුලී නිවස සොයා ගියහ.

‘‘වත්තට ඇතුල් වෙනකොටම ඉවසගන්න බැරි මහා ගඳක් ආවා. ඒ මොකක්ද කියලා වත්ත පුරාම බැලුවත් මොකුත් තිබුණෙ නෑ. අන්තිමට ඒ ගඳ එන්නේ පහන්ලගේ ගේ ඇතුළෙන් වෙන්න ඕන කියලා පොලිසියේ අය කිව්වා. අන්තිමට පොලිසියෙන් ජනේලයක් කඩලා කාමරයක් ඇතුළ බලද්දි ඇඳක් උඩ රෙදි කෑලි ගොඩක ඔතලා මළමිනියක් තියෙනවා දැක්කා.’’

පසුව පොලිසිය විසින් එම ස්ථානයට දඹුල්ල මහේස්ත්‍රාත්වරයා කැඳවා නිවස තුළට ඇතුල් වීමට කටයුතු කර තිබුණි.

‘‘මහේස්ත්‍රාත්තුමා ආවට පස්සේ ඒ අය ඇතුළට ගිහිල්ලා එතන තිබුණු ගවුමක් ගෙනල්ලා පෙන්නලා ඇහුවා අඳුරනවද කියලා. ඒ මගේ දුව එදා පහන් එක්ක යද්දි ඇඳගෙන ගියපු ගවුම කියලා මට මතක් වුණා. අපි ඇතුළට යද්දි මගෙ අහිංසක දුවගෙ ඇඟේ නූල් ​පොටක්වත් තිබුණෙ නෑ.’’

ඇය කියන්නේ වේදනාවෙනි.

පසුව කළ පරීක්ෂණවලින් අනාවරණය වී තිබුණේ ඇය මියයන්නට පෙර බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක්කර ඇති බවයි. මෙම සිදුවීමෙන් පසු අද වනතුරුත් සැකකාර පහන් නමැත්තා සහ ගයාත්‍රි ද ආගිය අතක් නැත. ඔවුන් සොයා දඹුල්ල පොලිසිය විමර්ශන සිදුකළද ඔවුන් පිළිබඳ තවමත් හෝඩුවාවක් ලැබී නැත.

‘‘ගයාත්‍රිගේ අක්කලා කියන විදිහට පහන්ට බාල වයස්කාර ගෑනුළමයින්ට කරදර කරන පුරුද්දක් තිබිලා තියෙනවා. එයාලගෙම දරුවටත් පහන් ගොඩක් කරදර කරනවා කියලා තමයි ආරංචි වුණේ. අපේ ගෙවල්වල යන එන අතරතුරේදි පවා බුද්ධිමා ගැන ඇහැ ගහගෙන ඉඳලා තියෙනවා කියලා පස්සෙ තමයි ආරංචි වුණේ. රේණුකාලා එක්ක තිබ්බ හිතවත්කම නිසා ඒක තවත් ලේසි වෙන්න ඇති. මම මේ ලෝකේ හැම අම්මා තාත්තා කෙනෙකුගෙන්ම අත් දෙක එකතු කරලා වැඳලා ඉල්ලන්නෙ යාළුකමට කියලා ළංවෙලා එකට කාගෙන බීගෙන හිටියට පිට මිනිස්සුන්ව විශ්වාස කරලා ගෙවල් ඇතුළෙ නම් දාගන්න එපා.’’

පසුව අප දඹුල්ල පොලිස් ස්ථානය ඇමතුවේ මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීමටය. එහිදී දඹුල්ල වැඩ බලන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක H.M. සුනිල් කරුණාතිලක මහතා මෙසේ අදහස් ප්‍රකාශ කර සිටියේය.

‘‘බුද්ධිමා කියන ගෑනු දරුවා හයවෙනිදා නැති වුණාට ඒ අය දඹුල්ල පොලිසියේ පැමිණිල්ලක් දැම්මෙ නවවෙනිදා. ඒකත් පැහැරගෙන යාමක් කියලාවත්, අතුරුදහන් වීමක් ගැන කියලාවත් නෙවෙයි. පවුලට සම්බන්ධ හිතවතෙක් ඇවිත් එක්කගෙන ගියා කියලා. අන්තිමට පහන් කියන සැකකරු දින ගණනාවක්ම අතුරුදහන් වෙලා හිටපු නිසා අපි ඒ පුද්ගලයා ආවගිය හැම​ ගෙයක්ම සෝදිසි කරා. ඒත් නිසි තොරතුරක් නොලැබුණු නිසා අපි අපේ පරීක්ෂණ නව මාවතකට යොමු කරලා මේ වෙද්දී නූතන තාක්ෂණය ඔස්සේ පරික්ෂණ කටයුතු ආරම්භ කරලා තියෙනවා.’’

බුද්ධිමා නැවත නොඑන බව ඇත්තය. එහෙත් ඇය යන්නට ගියේ මේ සමාජයේ බොහෝ දෙමව්පියන්ට, දරුවන්ට හිතන්නට බොහෝ දෑ ඉතිරි කරය.

ලිහිණි මධුෂිකා