Latest News

කොවිඩ් හැදුන ඔබ මානසික රෝගයකින් පෙළෙනවද?

කොවිඩ් 19 ආසාදනයෙන් පසු ඇතැම් පිරිසකට විශාදය ඇති විය හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා.

මෙහිදී විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සඳහන් කළේ, කොවිඩ් ආසාදනයෙන් පසුව එන ප්‍රශ්න බොහෝ විට දකින්න ලැබෙන්නේ නිදන්ගත රෝග තිබෙන පුද්ගලයින්ට වන අතර කොවිඩ් ආසාදනයෙන් පසු මානසික රෝග වලට ගොදුරුවන පුද්ගලයින්ද වැඩිවශයෙන් හමුවන බවයි.

වෛරසය ආසාදනයෙන් පසුව ඇතිවන තද බල ස්නායු සංකුලතා කලාතුරකින් ඇතිවන නමුත්, බොහෝ පිරිසට ඇතිවන සුළු මහන්සියකින් දැනෙන හුස්ම ගැනීමේ අපහසුතා , තෙහෙට්ටුව වැනි ශාරීරික රෝග ලක්ෂණ සේම මානසික සංකුලතා වන කළකිරුනු ස්වභාවය හා උදාසීන ගති ලක්ෂණද ඇති වනවා.

මෙම මානසික රෝග ලක්ෂණ සතියක හෝ මාස කිහිපයක් පවතින බවත් එම හේතුවෙන් ඇතැම් පිරිස් ඔවුනට නැවත කොවිඩ් ආසාදනය වී ඇති බවට අනවශ්‍ය බියක් ඇතිකර ගැනීමෙන් හුස්ම ගැනීමේ අපහසුතා ඇතිකර ගන්නා බවත් මේ සම්බන්ධව අනවශ්‍ය බියක් ඇති කර නොගතයුතු බවත් මනෝ වෛද්‍ය විශේෂඥ සජීවන අමරසිංහ මහතා සඳහන් කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මනෝ වෛද්‍ය විශේෂඥ සජීවන අමරසිංහ මහතා,

” කොවිඩ් වලට පස්සේ එක්තරා ප්‍රතිශතයකට මානසික රෝගී ලක්ෂණ, විශේෂයෙන්ම දවසපුරාම සතුටක් නැති ගතියක් , වෙනදට වැඩිය තරහ යන ගතියක්,ආසාව අඩුවෙන ගතියක් , නින්ද අඩුවෙන ගතියක් වගේ තියෙනවා. මෙවැනි රෝග ලක්ෂණ තියෙනව නම් ඔබ හිතන්න ඕනි මේක විශාදය විය හැකි. මේක හඳුනගන්න ඕනි. ගෙදර අය හිතනවා මෙයා කම්මැලි, ඒ විදියට හිතනවා. සමහර වෙලාවට ඔවුන්ට දොස් කියනවා. ඒ නිසා ඔබට උපදෙස් අවශ්‍ය නම් 247 හෝ ඊට අමතර විශේෂ අංකයක් තියෙනවා. ජාතික මානසික විද්‍යායතනය 1926ට කතා කරලා ඒ සම්බන්ධ උපදෙස් ලබා ගන්න.”