Latest News

ඩන්සිනන් රක්ෂිතයේ අතුරුදන් වූ තරුණිය දින 5ට පසු හමුවෙයි

නුවරඑළිය ඩන්සිනන් රක්ෂිතයට සිය මව සමග දර කැඩීමට ගිය 26 හැවිරිදි අතුරුදහන්වූ තරුණිය නුවරඑළිය කිකිලියාමාන රක්ෂිතයේ අතරමංව සිටියදි දින පහකට පසු සොයාගත් බව නුවරඑලිය පොලිසිය පවසනවා.

මෙසේ සොයාගනු ලැබුවේ ඩන්සිනන් වතුයායේ පහළ කොටසේ පදිංචි ජෙයබාලන් කර්පුගධාරණි නැමති තරුණියයි.

අතුරුදහන්ව සිටි තරුණිය ඉකුත් (05) දින සිය මව සමග නුවරඑලිය ඩන්සිනන් රක්ෂිතයට දර සෙවිමට ගිය අවස්තාවේ තරුණිය රක්ෂිතය තුළදී අතුරුදහන් විය.

නුවරඑළිය යුධ හමුදා කදවුරේ නිලධාරින්, නුවරඑළිය පොලිසියේ නිලධාරින් සහ ඩන්සිනන් වතු යායේ වතු කම්කරුවන් පසුගිය (05) වැනිදා සිට දින පහක් අතුරුදහන්වූ තරුණිය සොයා මෙහෙයුමක් ආරම්භ කළා.

යුද හමුදා නිලධාරින් රක්ෂිතය අසල ගම්මානවල පදිංචිකරුවන්ද දැනුවත් කර තිබිම හේතුවෙන් එම තරුණිය සොයා නුවරඑළිය ශාන්තිපුර ප්‍රදේශවාසින් නුවරඑළිය කිකිලියාමාන රක්ෂිතයේ සිදු කල මෙහෙයුමකදි එම තරුණිය රක්ෂිතය තුළ කැගසමින් සිටියදී සොයගෙන තිබෙනවා.

දින ගණනාවක් නිරාආහාරව කුසගින්නේ සිට ඇති එම තරුණියට ගම්වාසින් විසින් ආහාරපාන ලබා දි පසුව නුවරඑළිය යුද හමුදා කඳවුරේ නිලධාරින්ට සහ නුවරඑළිය පොලිසියේ නිලධාරින්ට භාර දි ඇත.

කෙසේවෙතත් අතුරුදහන්ව සිටි තරුණිය සඳහන් කළේ, ඩන්සිනන් රක්ෂිතයේ මව සමග දර කැඩිමට ගිය අවස්තාවේ සිය මව මග හැරුණු බවත්, ඉන් අනතුරුව රක්ෂිතයේ මාර්ගවල කිහිපයක ගමන් කල තමන් අතරමං වු බවයි.

අදාළ තරුණිය වැඩිදුර ප්‍රතිකාර සඳහා නුවරඑළිය මහ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර,සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂණ පවත්වයි.