Latest News

නිවසේ සිටම මාර්ගගත ක්‍රමයට වෘත්තිය පුහුණු අධ්‍යාපනය ලැබීමට අවස්ථාවක්

පාසල් ළමයින්ට නිවසේ සිටම හැදෑරීමට හැකි පරිදි වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කර ඇති බව නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය පවසනවා.

සිසුන් අතර ජනප්‍රිය මෝටර් කාර්මික ශිල්පය, හෝටල් සහ සත්කාරක පාඨමාලාව, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, විදුලි කාර්මික පාඨමාලා මෙලෙස ආරම්භ කර ඇතැයි රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළා.

තෝරාගත් රූපවාහිනී නාලිකා හා යූ ටියුබ් නාලිකා ඔස්සේ විකාශය කරන මෙම පාඨමාලා සඳහා 07 ශ්‍රේණියේ සිට ඉහළ සිසුන්ට මේ සඳහා සම්බන්ධ විය හැකියි.

මෙම පාඨමාලා ඔස්සේ න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ලබාදීම සිදුකරන අතර පාඨමාලා අවසානයේ මාර්ගගත ක්‍රමයට විභාග (online exam) පැවැත්වෙයි.

එය සමත් වූ පසු වෘත්තීය පුහුණු ආයතනයක් සමඟ එක්ව ප්‍රායෝගික පුහුණුව ලබා එන්.වී.ක්‍යු (N.V.Q) සාධන මට්ටම දක්වා ඉදිරියට යාමට පාඨමාලා හදාරන්නන්ට අවස්ථාව ලැබෙන බව ඇය සඳහන් කරනු ලැබුවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එම මහත්මිය සඳහන් කළේ,පාඨමාලා හදාරන සිසුන්ට රැකියා ලබාදීමේ වැඩපිළිවෙලක් ද පෞද්ගලික ආයතන දෙකක් සමඟ එක්ව සැලසුම් කර ඇති අතර පාඨමාලාවලට සම්බන්ධවීම පිළිබඳ හා ඒ පිළිබඳ අනෙකුත් තොරතුරු එම රූපවාහිනී සහ යූටියුබ් නාලිකා ඔස්සේ ප්‍රචාරය කරන බවයි.

එසේම වයස අවුරුදු 18 සම්පූර්ණ නොකළ සිසුන්ට මාර්ගගත විභාගවලට පෙනී සිටීමෙන් පසු සහතිකපතක් ලබාදී එම වයස සම්පූර්ණ කළ පසු වෘත්තීය පුහුණු ආයතනයක් හා එක්වීව ප්‍රායෝගික පුහුණුව ලබා රැකියා අවස්ථා උදාකරගත හැකි බව එම මහත්මිය සඳහන් කළා.

මෙම වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහන පසුගිය 18 වැනිදා විකාශයවූ බවත් ඉදිරියේදී සෑම සෙනසුරාදා දිනකම විකාශය කරන බවත් ඇය සඳහන් කරනු ලැබුවා.

රාජ්‍ය අමාත්‍යවරිය මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද පැවති මාධ්‍ය හමුවක් අමතමින්.