Latest News

පාසල් ආරම්භ කිරීම අදියර 4ක් යටතේ සිදු කිරීමට පියවර

අදියර 04 ක් යටතේ පාසැල් ආරම්භ කිරීමට සූදානම් බව අධ්‍යාපන අමාත්‍යංශය අද නිල වශයෙන් දැනුම්දුන්නා.

අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා සඳහන් කළේ පාසැල් ආරම්භ කිරීමේ දී දරුවා ආරක්ෂිතව පාසල තුළ රඳවා තබා ගැනීම සඳහා සුදුසු ද යන්න තහවුරු කර ගැනීමට අද සිට භෞතිකව නිරීක්ෂණ කටයුතු සිදුකරන බවයි.

ශිෂ්‍ය සංඛ්‍යාව 200 ට අඩු පාසල්වල 1-5 ශ්‍රේණි හැකි ඉක්මනින් ආරම්භ කරන බවද ඒ මහතා සඳහන් කළා.

ලේකම්වරයා සඳහන් කළේ, එම පාසල් සියල්ලම ආරම්භ කිරීමට හැකියාව ඇති බව සියලුම පළාත් ආණ්ඩුකාරවරුන් අමාත්‍යවරයා හමුවේ පවසා ඇති බවයි.

මේ අතර අධ්‍යපන අමාත්‍යංශය අතිරේක ලේකම් (පාසල් කටයුතු)එල්.එම්.ඩී ධර්මසේන මහතා පැවසුවේ, පංති කාමරය නැවත සකස් කර සෞඛ්‍යානුකුලව ළමයින්ව පාසලට ගෙන්වීමට පියවර ගන්නා ලෙස ආචාර්ය මණ්ඩලයෙන් ඉල්ලා සිටින බවයි.

තව ද සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු නම් කර ඇති බවත් ඔහු සම්බන්ධ වෙනවා ඒ ඒ ප්‍රදේශවල පාසල්වල දරුවන්ගේ සෞඛ්‍ය සම්බන්ධව කටයුතු කරන බව ත් අතිරේක ලේකම්වරයා සඳහන් කළා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කරනු ලැබුවා.