Latest News

කළලය ගබ්සා කිරීමට ගර්භණී මව්වරුන් වෛද්‍යවරුන්ගෙන් අවසර ඉල්ලයි

ඇතැම් ගර්භණී මව්වරුන් තම කුසේ සිටින කළලය ගබ්සා කිරීමට වෛද්‍යවරුන්ගෙන් අවසර ඉල්ලා ඇතැයි කාසල් රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් මහතා සඳහන් කරනවා.

කොවිඩ්19 වසංගත තත්ත්වයේ අවදානම යම්තාක් දුරකට පහව යන තෙක් ගැබ් ගැනීම් හැකිනම් වසරකින් පමා කරන්නැයි ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකු කළ ඉල්ලීම වැරැදි ලෙස අර්ථකතනය කරගත් පිරිස් මෙලෙස ඉල්ලීම් කර ඇති බව ඒ මහතා සඳහන් කළා.

ගබ්සාවක් කිරීමට මෙරට නීතියෙන් ඉඩ ඇත්තේ ගර්භණී භාවය හේතුවෙන් මවගේ ජීවිතයට යම් හානියක් සිදුවන්නේ නම් පමණක් වන අතර එයත් විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනකු තහවුරු කර තිබිය යුතුයි.

කොවිඩ් වෛරසය ආසාදනය වුවද ඉන් ඇතිවිය හැකි සංකූලතාවන් වළක්වා ගැනීමට කොවිඩ් මර්දන එන්නත ලබාගැනීම අනිවාර්යය බවත් ගර්භණී වී ඇති සියලුම මව්වරුන් අනියත බියක් ඇති කර ගතයුතු නොමැති බවත් වෛද්‍ය ලැනරෝල් මහතා පෙන්වා දෙනවා.

කොවිඩ් මර්දන එන්නත මගින් කුස තුළ වැඩෙන දරුවාට හෝ මවට කිසිදු හානියක් වන බව ලෝකයේ මෙතෙක් කරන ලද පර්යේෂණයන්ගෙන් තහවුරු වී නැති බවද වෛද්‍යවරයා ප්‍රකාශ කළා.

මෙරට දී එන්නත ලබාගත් ගර්භණී මව්වරුන් මේ වන විටත් දරුවන් බිහිකර ඇති අතර එම දරුවන්ටද කිසිදු සංකූලතාවක් ඇතිව නැතැයිද හෙතෙම සඳහන් කරනු ලැබුවා.