Latest News

මරණ දණ්ඩනයට නියමවූ ප්‍රේමලාල් ජයසේකර නිදහස්

මරණීය දණ්ඩනය නියමව සිටි පොදුජන එක්සත් පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනා අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්. ගුරුසිංහ යන අයගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ලබා දුන් තීන්දුවකට අනුවයි.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ එවක විපක්ෂයේ පොදු අපේක්ෂක වශයෙන් ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කහවත්තේ පැවති දේශපාලන රැලියකට වෙඩි තබා පුද්ගලයකු මරා දමා තවත් පුද්ගලයින් දෙදෙනෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර, ඇතුළු තිදෙනෙකුට 2020 වසරේ ජූලි මස 31 වනදා රත්නපුර මහාධිකරණය මඟින් මරණීය දණ්ඩනය නියම කෙරුණා.

රත්නපුර මහාධිකරණ විනිසුරුවරයා තමන්ට එරෙහිව මරණීය දණ්ඩනය නියම කර ඇති ආකාරය නීතියට පටහැනි බවත් එබැවින් එම තීන්දුව අවලංගු කොට තමන්ව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලමින් ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා ඇතුළු විත්තිකරුවන් තිදෙනාම අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබුණා.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර, සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී නිලන්ත ජයකොඩි සහ කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන යන අය මෙසේ නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කෙරුණා.

මෙහිදී අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සඳහන් කලේ, මෙම සිද්ධිය වූ අවස්ථාවේ දී විත්තිකරුවන් අත ගිනි අවි තිබූ බවට සහ ඔවුන් විසින් වෙඩි තැබූ බවට සාක්ෂි ඉදිරිපත් වී නොමැති බවයි.