Latest News

ප්‍රියන්තගේ අවසන් කටයුතු හෙට – ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

පාකිස්තානයේ දී සාහසික ලෙස ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි ප්‍රධානතම සැකකරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉමිතියාස් හෙවත් බිල්ලි නැමැති එම පුද්ගලයා රාවල්පින්ඩි නගරය දක්වා බස් රථයක යමින් සිටියදී පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කළා.

මීට අමතරව සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් 26 දෙනෙකු දෙසැම්බර් 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පාකිස්තානයේ ත්‍රස්ත විරෝධි විශේෂ අධිකරණය විසින් ඊයේ (06) නියෝග කර තිබුණා.

මේ අතර ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (08) දිනයේ සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඔහුගේ පවුලේ ඥාතීන් සඳහන් කළේ අද (07) දිනයේ දේහය ගනේමුල්ල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තබන බවයි.

ඒ මහතාගේ දේහයේ අවශේෂ ඊයේ (06) පස්වරුවේ ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් යානයකින් දිවයිනට රැගෙන ආ අතර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මීගමුව රෝහලට යොමුකරනු ලැබුවා.

පාකිස්තානයේ සියල්කොට්හී ඇඟලුම් කම්හලක සාමාන්‍යාධිකාරීවරයෙකු ලෙස සේවය කළ ප්‍රියන්ත කුමාර මහතා පසුගිය සිකුරාදා එම කම්හලේ පිරිසක් විසින් වද හිංසනයට ලක්කර ඝාතනය කර තිබුණා.