Latest News

රාවණා ඇල්ලෙන් ඇදවැටුණු ඊශ්‍රායල් ජාතික තරුණිය

රාවණා ඇල්ල නැරඹීමට පැමිණි තරුණියක් ගල් තලාවකට නැගීමට යෑමේදී පය ලිස්සා වැටීමෙන් බරපතළ තුවාල ලබා ඇතැයි ඇල්ල පොලිසිය පවසනවා.

මෙලෙස තුවාල ලබා ඇත්තේ සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඊශ්‍රායල් ජාතික 23 හැවිරිදි තරුණියක් .

ඇය තවත් විදේශීය සංචාරකයන් 12 දෙනකු සමඟ රාවණා ඇල්ල නැරඹීමට පැමිණ තිබෙනවා.

අදාළ තරුණිය ඇල්ලේ උඩකොටසට ගල් මතින් නැඟයෑමට උත්සාහ කිරීමේදී පය ලිස්සා අඩි 10 පමණ පහළට වැටී තිබෙන බව වාර්තා වනවා.

බරපතළ තුවාල ලැබූ ඇය වැල්ලවාය මූලික රෝහලටත් පසුව මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලටත් මාරුකොට තිබෙනවා.

නමුත් ඇයගේ තත්ත්වය බරපතළ බැවින් පසුව බදුල්ල මහ රෝහලට මාරුකොට යවා ඇති අතර දැනට රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ ඇල්ල පොලිසිය මගින් සිදුකරනු ලබනවා.