ඉවුම් පිහුම්

සුදුළූණු පිකල්

අවශ්‍ය ද්‍රව්‍ය –

සුදුළූණු 250g ක්
අමුමිරිස් 100g ක්
කැරට් අල 2 ක්
විනාකිරි බෝතල් 1/2 ක්
මිරිස්කුඩු තේ හැඳි 1 ක්
කෑලි මිරිස් තේ හැඳි 01 ක්
කහ තේ හැඳි 01 ක්
අබ තේ හැඳි 1 1/2 ක්
ගම්මිරිස්
ඉඟුරු
මුරුංගා පොතු කිහිපයක්
කුරුඳු
ලුණු

සුදුළූණු පොතු සුද්ද කරගන්න. කැරට් සාමාන්‍යයෙන් මැලේ පිකල් එකට ගන්න සයිස් එකටම දික් අතට කපාගන්න.

අමුමිරිස් ටික දික් අතට වෙන් නොවෙන විදියට පලාගන්න.

අබ, කහ, ඉඟුරු, මුරුංගා පොතු, මිරිස් කුඩු, කෑලි මිරිස්, සුදුළූණු බික් දෙකක් හා ගම්මිරිස් ටිකක් විනාකිරි පොඩ්ඩක් දාලා අඹරගන්න.

මැටි වළඳක් අරගෙන ඒකට විනාකිරි වලින් බාගයක් හා ලුණු දාලා උතුරවගන්න.

දැන් ඒකට සුදුළූණු ටික දාලා කලවම් කරගන්න. ඒකටම කැරට් හා මිරිස් ටිකත් දාගන්න. බාගෙට වගේ විනාකිරෙන්ම තැම්බෙන්න අරින්න.

වෙනම මැටි හට්ටියකට ඉතිරි විනාකිරි හා අඹරාගත් අබ මිශ්‍රණය දාලා දියකරගන්න. දැන් ඒකට තම්බගත්ත සුදුළූණු, අමුමිරිස් සහ කැරට් ටික බේරල දාගන්න.

කුරුඳු පොතු කෑලි ටිකක් උඩින් දාලා, නිවුනට පස්සෙ රෙදි කෑල්ලකින් කට වැහෙන්න හොඳට ගැට ගහලා දවස් 3කට පස්සෙ කෑමට ගන්න.