Latest News

තෙවන වර DNA පරීක්ෂණයෙන් හෙළිවූ සාරා ගේ මරණය

2019 අප්‍රේල් 26 වනදා සයින්දමරුදු ආරක්ෂිත නිවසක් තුළ මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා හැරීම හේතුවෙන් මියගිය තැනැත්තන් අතර සාරා ජස්මින් ද සිට ඇති බව තහවරු වී තිබෙනවා.

එම සිද්ධියෙන් මියගිය තැනැත්තන් අතර පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින් යන අය ද සිටින බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව මගින් තහවුරු වී ඇති බව පොලිසිය සඳහන් කරනවා.

ඒ තුන්වන වරට ලබාගන්නා ලද සියුම් සාම්පල සම්බන්ධව සිදුකරන ලද DNA පරීක්ෂාවේ දී යි.

නිවේදනයක් නිකුත් කරන පොලිස් මාධ්‍ය කොට්ඨාසය පෙන්වා දෙන්නේ, පුලස්තිනී මහේන්ද්‍රන්ගේ මවගෙන් ලබාගන්නා DNA සාම්පල සමග බෝම්බ පිපිරීම සිදුවූ ස්ථානයේදී සොයාගන්නා ලද අස්ථි කොටස්වල DNA සාම්පල මවක සහ දරුවෙකු අතර පවතින ජීව විද්‍යාත්මක සම්බන්ධතාව තහවුරු වන ප්‍රතිඵලයක් බවත් එය සියයට අනූනවයයි දශම නවයයි නවයක් බවට තහවුරු වී ඇති බවත් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර ඇති වාර්තාවෙන් තහවුරු වන බවයි.

 

 

2019 වසරේ අප්‍රේල් 21 පාස්කු ඉරු දින ස්ථාන 08කදී සිදුවූ බෝම්බ පිපිරීම් 10ක දී සාමාන්‍ය පුරවැසියන් 270කට ආසන්න පිරිසක් මිය ගිය අතර එම ත්‍රස්ත ප්‍රහාර සිදුකල සහරාන් හෂීම් ප්‍රමුඛ ත්‍රස්තවාදීන් ද ජිවිතක්ෂයට පත් වුණා.

එම පිපිරීම් සිදුවී දින 5කට පසු 2019 අප්‍රේල් 26 වන දින ත්‍රස්තවාදීන්ගේ ඥාතින් ඇතුළු සමීපතමයින් සැඟව සිටි සයින්දමරුදු හි නිවසක් ආරක්ෂක අංශ විසින් පරික්ෂා කිරීමට ගිය අවස්ථාවේදී යලිත් වරක් බෝම්බ පිපිරීම් මාලාවක් සිදුවුණා.

එහිදී ත්‍රස්තවාදීන්ගේ භාර්යාවන්,දරුවන් හා දෙමව්පියන් ඇතුළු 16 දෙනෙකුගේ මළ සිරුරු කොටස් හමුවී තිබුණා.

කෙසේවෙතත් එම අවස්ථාවේදී නිවසේ රැඳී සිටි බවට පසුව හෙළි වූ කටුවාපිටිය දේවස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කර අජ්ජු මොහොමදු මොහොමදු හස්තුන් නමැති ත්‍රස්තවාදියාගේ භාර්යාව වූ පුලස්තිනි මහේන්ද්‍රන් නොහොත් සාරා ජස්මින් මිය ගියේද? නැද්ද ? යන්න සම්බන්ධව ගැටළු සහගත තත්ත්වයක් මතුව තිබුණා.

ඒ එම ස්ථානයේ මියගිය පුද්ගලයින්ගේ ශරීර කොටස් සම්බන්ධයෙන් සිදුකළ DNA පරීක්ෂණයෙදී සාරා ජස්මින්ගේ මවගේ DNA සාම්පල සමග නොගැලපීම හේතුවෙන්.

එමෙන්ම ප්‍රහාරයෙන් පසු සාරා ජස්මින් ජිවතුන් අතර සිටියේ යැයි තමන් දුටු බවට සාක්ෂිකරුවන් දෙදෙනෙකු ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීම සමාජයේ දැඩි කතා බහක් ඇති වීමට හේතුවක් වුණා.

ඒ අනුව සයින්දමරුදු හිදී මිය ගිය තැනැත්තන්ගේ ශරීර කොටස් තෙවන වරටත් සාරා ජස්මින්ගේ මවගේ DNA සමග සැසඳීම සඳහා අධිකරණ නියෝග මත කටයුතු කර තිබුණා.