Latest News

ලොව බලගතු පර්යේෂකයන්ගේ ලැයිස්තුවට ශ්‍රී ලංකික නමක්

ලොව වඩාත්ම බලගතු පර්යේෂකයන්ගේ ලැයිස්තුවට මෙවර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මියගේ නම ද ඇතුළත්ව තිබෙනවා.

‘ක්ලැරිවේට් විශ්ලේෂකයන්ගේ කණ්ඩායම’ (Clarivate™) ලෙස හැදින්වෙන ලොව විශාලතම විද්‍යාත්මක පර්යේෂණ දත්ත එකතුවක් සහිත ආයතනය මගින් වාර්ෂිකව ප්‍රකාශයට පත්කරන මෙම ලැයිස්තුවට ශ්‍රී ලාංකිකයකු ඇතුළත් වූ පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පාරිසරික විද්‍යාව ආශ්‍රිත පර්යේෂණාගාර මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරිය ලෙස ද මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය කටයුතු කරනවා.

මෙම ලැයිස්තුවට නම ඇතුළත්වීම ලොවපුරා විද්‍යාඥයන් දහසකින් එක් අයකුට හිමිවන අවස්ථාවක් බව ද ඇය සඳහන් කරනු ලැබුවා.

මෙහිදී මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය සඳහන් කළේ, ගතවූ වසර 10ක කාලයකදී විද්‍යාඥයන් විසින් විද්‍යා වෙබ්වල පළකරන පර්යේෂණ පත්‍රිකා සංඛ්‍යාව සහ ඒවායේ වටිනාකම සැලකිල්ලට ගනිමින් මෙම ලැයිස්තුව සැකසීම සිදුවන බවයි.

ලොවපුරා පර්යේෂකයන් විසින් 2021 වසරේ දී, විවිධ ක්ෂේත්‍ර යටතේ පළකළ පර්යේෂණ පත්‍රිකා අතරින් විවිධ ක්ෂේත්‍ර වල පරීක්ෂණ සඳහා සුවිශේෂී බලපෑම් ඇතිකිරීමට ඉවහල්වූ සහ වැඩිම උපුටා දැක්වීම් කළ පරීක්ෂණ පත්‍රිකා හිමි විශිෂ්ටතම පර්යේෂකයන් අතර ශ්‍රේණිගත වී සිටීම ගැන ශ්‍රී ලාංකිකයෙක් ලෙස තමන් අතිශයින් සතුටු වන බව ඇය වැඩිදුරටත් සඳහන් කළා.

කෙසේවෙතත් එම පර්යේෂණයන්ගෙන් රට ප්‍රයෝජනයක් නොගැනීම ගැන කණගාටුවක් ඇතැයි ද ඇය සඳහන් කළා.