Latest News

තමාව ධූරයෙන් ඉවත් කළ, ඇමතිවරයා ගැන ශර්මිලා ධරණීට කියූ කතාව

තමාව ධූරයෙන් ඉවත් කිරීමට අමාත්‍ය සී.බී. රත්නායක ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී ඇති බැවින්, ධුරයෙන් ඉවත් වූ බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ පවසනවා.

කෙසේවෙතත් ඇය ධරණී වෙත අදහස් දක්වමින් සඳහන් කලේ,දෙහිවල සත්වෝද්‍යානයේ වෘත්තීය සමිති මගින් නිතර ඇයගේ රාජකාරි කටයුතු සඳහා බලපෑම් එල්ල කල බවයි.

ශර්මිලා රාජපක්ෂ පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 28 වන දා අධ්‍යක්ෂ ජනරාල් ධූරයේ වැඩ භාර ගනු ලැබුවා.

කෙසේවෙතත් ඇය විසින් දෙහිවල සත්වෝද්‍යානයේ වංචාවලට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳ විධිමත් පරීක්ෂණයක් ඉල්ලා තිබුණා.

ඒ අනුව දෙහිවල සත්වෝද්‍යානයේ උද්ගත වූ මෙම සිද්ධීන් සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයක් මගින් විමර්ශනයක් සිදුකළ අතර එම විමර්ශන වාර්තාව පසුගිය සඳුදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කෙරුණා.

නමුත් වනජීවී අමාත්‍ය සී.බී. රත්නායක සහ අමාත්‍යංශ ලේකම් සෝමරත්න විදානපතිරණ එම වාර්තාවේ සඳහන් වූ නිර්දේශ ප්‍රතික්ෂේප කර ඇති බවයි ඇය අනාවරණය කලේ.

කෙසේවෙතත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අනුව ධූරයෙන් ඉවත් වූ ශර්මිලා රාජපක්ෂ සිය මුහුණු පොතේ සටහනක් තබමින් සඳහන් කලේ “තමන්ට සිය ප්‍රතිපත්ති, සතුන්ට ඇති ආදරේ තරමටම වටිනා බවයි.”

“රට අගාධයට ගෙන යන තව එක දේශපාලන එහෙයියෙකු නොවෙන්න නම් කැප කිරීම් කරන්න” සිදුවන බව ඇය එම සටහනේ වැඩිදුරටත් සදහන් කර තිබුණා.

මේ අතර සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස තිලක් ප්‍රේමකාන්ත මහතා පත්කර තිබෙනවා.